ජනපතිගේ බංග්ලාදේශ සංචාරය

  👤  3568 readers have read this article !
By mawbima 2017-07-17

බංග්ලදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව පසුගිය 14දා සිදුවූ අතර එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමක් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යෑමට දෙරටේ රාජ්‍ය නායකයෝ සපථ වූහ.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ඉතා සුහදශීලී ලෙස අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය පිළිගනු ලැබුවාය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.
කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ අත්දැකීම් දෙරට අතර හුවමාරු කර ගැනීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණයේදී සහ ත්‍රස්තවාදය මැඬලීමේදී එක්ව කටයුතු කිරීමටද සාකච්ඡා කළේය.

එමෙන්ම ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශයේ තාක්ෂණික දැනුම ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය රටේ සංචාරයක නිතර වීම පිළිබඳ සතුට කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ තහවුරු වී තිබෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇගයීමට ලක් කළාය.

දෙරට අතර සබඳතා ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ, ආර්ථික මෙන්ම කලාපීය වශයෙන්ද ශ්‍රී ලංකාව සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට බංග්ලාදේශය සූදානම් බවද අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් මුහුණ දී තිබෙන්නේ එකම ආකාරයේ ගැටලුවලට වන බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ගැටලුව ආදී ගැටලුවලට විසඳුම් සෙවීමේදී එක්ව කටයුතු කිරීමේ හැකියාවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

බංග්ලාදේශ අයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා එම ආයෝජකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට යොමු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් සඳහන් කළේය.

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත ඇරයුම් කළ අතර එම ඇරයුම ඉතා සුහදශීලී ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර ඇති කරගත් නව සබඳතා සාර්ථකව ඉදිරියට ගෙන යෑම පිළිබඳ එම හමුව ඉතා වැදගත් වනු ඇති බවටද විශ්වාසය පළ කළාය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12කට අස්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.
එහි පළමු ගිවිසුම දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් අස්සන් තැබූ අතර විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා ඊට අස්සන් තැබූහ.

දෙරට අතර ආර්ථික සහයෝගීිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුමට අස්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සහ එරට වාණිජ අමාත්‍යවරයා විසිනි.

කෘෂිකාර්මික සහයෝගීිතාව පිළිබඳ ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අස්සන් තැබූහ.
තොරතුරු තාක්ෂණය පිළිබඳ ගිවිසුමකට අස්සන් තැබුණු අතර ඊට අස්සන් තබන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසිනි.

ගුවන් විදුලි සහ රූපවාහිනි සංවර්ධනය පිළිබඳ ගිවිසුමටද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යවරයා අස්සන් තැබූහ.
නෞකා ක්ෂේත්‍රයේ සහයෝගීිතාව පිළිබඳ ගිවිසුමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අස්සන් තැබූහ.
විදේශ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබඳ ගිවිසුම් දෙකකටද අස්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු ඊට අස්සන් තැබූහ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අස්සන් තැබූහ.

දෙරට අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ ගිවිසුමකටද අස්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය පිළිබඳ ගිවිසුමකට ද අස්සන් තැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්