ආණ්ඩුව සැරසෙන්නේ දේශපාලන දඩයම ඉදිරියට ගෙන යන්නයි

  👤  2809 readers have read this article !
By mawbima 2018-03-15

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත මඟින් මෙරට අධිකරණ පද්ධතිය විශාල වෙනසකට භාජන වන බවත් එකඟ විය නොහැකි වගන්ති රාශියක් ඇතුළත් මෙම පනත රටේ සෑම ක්ෂේත්‍රයකම අවධානයට යොමු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම පනත හරහා සිය දේශපාලන දඩයම ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රිවරයා පැවසුවේය.

ඊයේ (14දා) බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මේ රටේ අධිකරණ පද්ධතියේ විශාල වෙනසකට භාජන වන අධිකරණ සංවිධාන සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිළිබඳ විවිධ බුද්ධිමතුන්, විශ්වවිද්‍යාලවල විශේෂඥයන්, නීති සංගමය මෙහි එකඟවිය නොහැකි වගන්ති රාශියක් තිබෙන බවට අදහස් පළ කරලා තිබෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයකම අවධානයට මෙය පත්විය යුතුයි. මේ පනතේ ඇති අසාධාරණ ක්‍රියාමාර්ග නැවැත්වීම සඳහා කටයුතු කළ යුතුයි කියන තීරණයේ ඒකාබද්ධ විපක්ෂය සිටිනවා. එහි පළමු පියවරක් හැටියට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ මම ශේ්‍රෂ්ඨාධිකරණයේ පනත අභියෝගයට ලක් කරලා තිබෙනවා. දැනට නීතිපතිවරයාට තිබෙන දූෂණය, අල්ලස හෝ නාස්තිය පිළිබඳව තිබෙන නඩුවක් හෝ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ තිබෙන නීතිමය කටයුත්තක් නඩුවක් පැවරීම ගැන තිබෙන සුවිශේෂී ආරක්ෂාව හා සමාන අයිතියක් මෙම පනත හරහා අල්ලස් කොමසාරිස්වරයාට පැවරෙනවා. මෙතෙක් කල් නීතිපතිවරයාට තිබුණු එම සුවිශේෂී අයිතිය වෙනස් කිරීම නිසා බරපතළ තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. බොහෝ විට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්හි ගැබ් වී තිබෙන හතර වන වගන්තියට අනුව අපේ අවධානය යොමුවීමෙන් පසුව තමයි අපි ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියේ. සමානාත්ම අයිතිය වෙනුවට අසමාන ලෙස පුද්ගලයකුට සැලකීමේ තත්ත්වයකට පරිවර්තනය වෙනවා.

එක් නඩුවකදී නීතිපතිවරයාත්, තවත් නඩුවකදී අල්ලස් කොමසාරිස්වරයාත් තීරණය කිරීමෙන් එක හා සමාන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගැටලුවක් හා තර්ජනයක් මතු වෙනවා.

අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ එෆ්.සී.අයි.ඩී. ආයතනය මඟින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආරම්භයේ පටන්ම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දිගටම මේ අංශය විසුරුවා හැරලා නීත්‍යනුකූලව තිබෙන අංශයට යටත් කරන්න කියලා. දැන් එහි භයානක තත්ත්වය නීත්‍යනුකූල අධිකරණය දක්වා ගමන් කළ හැකි පරිදි වෙනස් කිරීමේ ක්‍රියාවක අධිකරණය යෙදී සිටිනවා.
රජයේ සේවකයන් ඉහළ සිට පහළට කිසියම් කටයුත්තක් කිරීමේදී ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අනුව, සිදුවන ප්‍රමාද දෝෂයකට පවා මේ විශේෂ අධිකරණයට ගෙන යා හැකි ලෙස තමයි මේ පනත සංශෝධනය කර තිබෙන්නේ. ඉහළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට ගමේ සිටින ග්‍රාමසේවක ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් මේ බරපතළ අනතුරට පත්වීම හේතුවෙන් රාජ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වයට හා පැවැත්මට දැවැන්ත තර්ජනයක් එල්ල වෙනවා. අනෙක් අතට එය ජනජීවිතයේ ඉටු කළ යුතු කාර්යභාරයන් ඉටු කිරීමට මැළිකම් දක්වන තත්ත්වයට පරිවර්තනය වෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ අයිතිවාසිකම් නැති වන ආකාරයට මෙම පනතේ සඳහන් කර තිබෙන වගන්ති ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට හා මෙතෙක් අධිකරණයේ ස්වාධීනත්වය සෝදා පාළුවකට ලක්වනවා මේ හරහා. එම නිසා මේ පනතේ ඇති භයානකකම මත ඒකාබද්ධ විපක්ෂය මේ දැවැන්ත හානිදායක වගන්ති පරාජය කිරීමට බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර
ජනවාර්ගික ගැටුම් මේ දිනවල ප්‍රධාන මාතෘකාව වෙලා. ජනවාර්ගික ගැටුම් තුළ නිසගයෙන් ප්‍රතිගාමී කුමන්ත්‍රණයක් අඩංගුයි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය, පොලිසියෙන් වසන් වෙන අර්ජුන මහේන්ද්‍රන් වගේ දේවල් යටපත් වෙලා. ජනවාර්ගික ගැටුම වැළැක්වීම වැදගත්. එයින් ලාබ ප්‍රයෝජනයක් ලැබුවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතායි.

අපිට වැදගත්ම කාරණාව මහ බැංකුව මංකොල්ල කාපු අපරාධකරු ගෙන්වා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම හා ඊට අනුබල දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමයි.

අවලංගු වී තිබෙන ආණ්ඩුවක් තවදුරටත් පාලනයේ ඉඳීම නිසා ආරවුල් ඇතිවෙනවා. ආණ්ඩුවට එරෙහිව විශාල ජනමතයක් ප්‍රකාශ වෙලා තිබෙන තත්ත්වයක ජනතාව අතේ ආණ්ඩු විරෝධී බලයක් තිබෙන බව ආණ්ඩුව අවබෝධ කරගෙන තිබෙන්නේ. අවංකව ජාත්‍යන්තර අධිකරණයේ බලයට ලංකාවේ ස්වෛරීභාවය යට නොකරනවා නම් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනතේ අවලංගු කළ සංශෝධනයත් වහාම ගෙන ආ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon