මාධ්‍යයෙන් කළ යුත්තේ සමාජයට යහපත් හා නිවැරැදි දේ ලබා දීමයි

  👤  2785 readers have read this article !
By mawbima 2018-03-15

ජාතික සමඟිය බිඳ දැමීම, ජාතික ආරක්‍ෂාවට බලපෑම් එල්ල කිරීම මෙන්ම පුද්ගලයන්ට නින්දා අපහාස සිදු කිරීම වැනි අයහපත් ක්‍රියාකාරකම් මැඬපවත්වා අන්තර්ජාලය ඇතුළු සියලුම මාධ්‍යයන් කටයුතු කළ යුත්තේ සමාජයට අවශ්‍ය යහපත් සහ නිවැරැදි දේ ලබාදීමට පමණක් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ජංගම දුරකතන, අන්තර්ජාලය වැනි නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් බිහිවූයේ මුළු ලෝකයම දැනුමෙන් යාවත්කාලීන විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ බහුතරයක් ඒවා භාවිත කරන්නේ රට විනාශ කිරීමට යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේ පෙරේදා (13දා) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

පසුගිය සතියේ මතුවූ අම්පාර, මහනුවර ප්‍රදේශවල ගැටුම ජාතික සමඟිය පලුදුවන ආකාරයට සිදුවූ හැසිරීම්. ඒ තුළ රටක් වශයෙන් අපි ලෝකයා ඉදිරියේ අගෞරවයට පාත්‍රවීමත් ඒ වගේම රට තුළ ජාතික සමඟිය ගොඩනැඟීමේදී ඇතිවූ බාධාවනුත් සැලකීමේදී එය මහත් ඛේදවාචකයක් විදියටයි මම දකින්නේ. ඒ ගැන මම ජනාධිපතිවරයා විදියට මෙන්ම රටේ පුරවැසියෙක් විදියට දැඩි ලෙස කනගාටු වෙනවා.

තවත් පැත්තකින් ඔබ දකිනවා රජයක් විදියට කටයුතු කරගෙන යෑමේදී මුහුණදීමට සිදුව තිබෙන විවිධ දේශපාලන ගැටලු පිළිබඳව, අද සිදුවන දේවල් ඇතැම් අය හඳුන්වන්නේ අපේ රටේ මීට පෙර කවදාවත් සිදුවී නැති විදියට තමයි. අපේ රටේ සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ඉතාමත්ම බරපතළ ගැටුම්, විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමිවූ ගැටුම් ඇති වුණේ මීට අවුරුදු අසූවකට පමණ එහා.

සිංහල-මුස්ලිම් බරපතළ ගැටුම වාර්තා වන්නේ 1915දී. ඒ වගෙම තමයි ආණ්ඩු විදියට තිබෙන ගැටලු. ආණ්ඩුවක් කරගෙන යනකොටත් යම් යම් ගැටලු ඇතිවෙනවා.
මොන ආණ්ඩුවේද බරපතළ ප්‍රශ්න ඇතිවුණේ නැත්තේ. මේ ජංගම දුරකතනය, අන්තර්ජාලය නිර්මාණය කළ විද්‍යාඥයා මෙය හැදුවේ මානව සමාජයේ යහපත සඳහා. ජංගම දුරකතනය අතට ගත්තාම, ලැප්ටොප් එක, ෆේස්බුක් එක හරහා මුළු ලෝකයම දකින්න පුළුවන්. සියලු දැනුම, සියලු දේ තිබෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ බොහෝ අය මේ දැනුම තිබෙන පැත්තට නෙවේනේ යන්නේ. ඒක පාවිච්චි කරන්නෙත් රට විනාශ කරන්න. මම මේ බව විවෘතවම කියන්න ඕන.

දැන් පසුගිය සතියේ සිදුවූ සිදුවීම් වෙන්න කලින් පසුගිය අවුරුදු ගණනාවක් ගත්තාම සෑම කෙනෙක්ම කිව්වේ මේක බරපතළ ප්‍රශ්නයක්. පවුල් විනාශ වෙනවා. තරුණ ළමයි සියදිවි නසා ගන්නවා. නින්දා, අපහාස බරපතළයි. ජාතිවාදී ගැටුම් මේ ප්‍රශ්න ඔක්කොම මෙතැන. මේවා පාලනය කරන්න කෙනෙක් නැද්ද කියලා විශාල හඬක් තිබුණා. නමුත් සමාජයත් කිව්වා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහසත් එක්ක ඒක හොඳ නැහැ කියලා. ඒ නිසා කොච්චර වැරැදි ආකාරයෙන් මේක භාවිත කළත් අපි එයට අත තිබ්බේ නෑ.

විශේෂයෙන් මහනුවර සිද්ධිය එක්ක ඒ ගැටුම් වැඩිවෙන්න මූලික ස්ථානය ගත්තොත් තෙල්දෙණියේ සිද්ධිය, එතැනට ජනතාව ඒකරාශී කරන්න මූලිකත්වය ගත්තේ ඔය ෆේස්බුක්, වෙබ් සයිට්. අපි රජය විදියට තාවකාලික තහනම ඇති කළේ නැත්නම් සමහරවිට අද වනවිට මහනුවරින් එහා එය රටටම පැතිරිලා එම බරපතළ ව්‍යසනය. ඒ නිසා අපට සිද්ධ වුණා තාවකාලිකව එය නවත්වන්න.

දැන් තාවකාලිකව ෆේස්බුක් නවත්තපු නිසා ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ඇති වුණා වගේම ඒකෙන් වුණ පාඩුත් අලාභත් අපි දකිනවා. මේකට කිසිසේත් අත තියන්න බෑ. මුකුත් කරන්න බෑ කියලා කලින් කතා කළාට අපි සතියක් මේක වහලා දාපුවහම ලෝකයේ හැම තැනම ඉන්න ලොකු සමාගම්වල මහත්තුරු දැන් පසුගිය සතියේ ඉඳලා ලංකාවට එනවා අපේ සමාගම්වලට ලොකු පාඩුවක් කියලා. ඒ අයගේ ආදායම් පහළ බැහැලා කියලා. රජයේ ආයතනවල ආදායම් හොඳට ඉහළ ගිහිල්ලා තිබෙනවා ෆේස්බුක්, වෙබ් සයිට් වසා දැම්මට පස්සේ. ටෙලිකොම්, විදුලි සන්දේශ නියාමන කොමිසම දවසේ ආදායම මිලියන 200කින් වැඩිවෙලා තිබෙනවා. අපි බැනුම් අහනවා. රට විනාශ වෙනවා, බරපතළ සිද්ධීන් ඇති කරනවා. ඒ අතරට අපේ ආණ්ඩුවේ ආදායමෙන් කෑල්ලක් ගලව ගන්නවා ඒ අය.

අපි මෙය අයින් කරමු හෙට අනිද්දා. නමුත් මේ වෙන සිද්ධීන් පාලනය කිරීම පිළිබඳව, ඉන් ඇතිවන අයහපත් දේවල් ගැන, ජාතික සමඟිය බිඳ දැමීම ගැන, ජාතික ආරක්‍ෂාව, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා අපහාස පිළිබඳ ඒ ඒ සමාගම් එක්ක අපි එකඟතාවක් ඇතිකර ගමු ඒවා සිදු නොකිරීම පිළිබඳව. යහපත් දේ, හොඳ දේ, නිවැරැදි දේ ශක්තිමත් කරන්න ඕන. අන්තර්ජාලයද ෆේස්බුක්ද ඒ හැමදේම දැනුම තිබෙන දේ, හොඳ දේ වඩ වඩා දෙන්න ඕන. නමුත් සමාජය විනාශ කරනවා නම් යම්කිසි පැත්තකින් ඒ දේ පාලනය කිරීමට යම්කිසි ක්‍රමවේදයක් තිබෙන්න ඕන.

කලින් තිබුණු ආණ්ඩුව රටේ ජනතාව විසින් වෙනස් කළේ ප්‍රධාන වශයෙන් රස්සා ඉල්ලලා, කෑම ඉල්ලලා නොවේ. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මාව ජනාධිපති කළේ වෙනත් කරුණු ගණනාවක් හේතුවෙන්. එදා වේදිකාවේ කිව්වේ මොනවද කියලා තමුන්නාන්සේලා දන්නවා. දූෂණය, වංචාව, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අතුරුදන්වීම් ඒවා තමයි එදා දේශපාලන වේදිකාවේ කතා කළේ.

එදා දේශපාලන වේදිකාවේ දේවල්වලින් දූෂණය කියන වචනය හැර අනෙක් සියලු දේවල්වලින් අප රට නිදහස් කළා. දූෂණය කියන වචනයේදී ඇතිවූ තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. ඒකෙන් බේරෙන්න පුළුවන්කමක් නෑ. දූෂණය සම්බන්ධ ඒ චෝදනා එදා ආණ්ඩුවටත් තිබුණා. මේ ආණ්ඩුවටත් තිබෙනවා. අපි රටක් විදියට අපේ රට ගොඩනඟන්න දේශපාලනඥයන්ද රාජ්‍ය නිලධාරීන්ද රටේ සාමාන්‍ය ජනතාවද මේ සියලුදෙනාගේ තිබිය යුතු කැපවීම, සාමූහිකත්වය, අවංකභාවය, ආකල්පමය වශයෙන් අවශ්‍ය වෙනස, මේ සියල්ල පිළිබඳව තමුන්නාන්සේලාට හොඳ අවබෝධයක් තිබෙනවා. නමුත් අප දූෂණයද උපරිම අන්දමින් පිටුදැක ජනතාවට දුන් එම පොරොන්දුවත් ඉෂ්ට කරනවා.

නැති නිදහසක් දුන්නාම ඒ නිදහස පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමුන්නාන්සේලාට හොඳට පේනවා. එදා මාධ්‍ය ආයතන ගිනි ගත්තා. අපි මේ සියලු දේවල්වලින් පාඩම් ඉගෙන ගෙන රටක්, ජාතියක් විධියට අපි කෙසේ හෝ නැඟිටිය යුතුය කියන එක තමුන්නාන්සේලා දන්නවා.
අපේ රටේ පර්යේෂණ අංශවල අපි ඉතාම පහළ තැනක ඉන්නේ කියලා තමුන්නාන්සේලා දන්නවා. වාර්ෂිකව අය-වැයෙන් වෙන්කරන මුදල්වලදී පර්යේෂණ අංශවලට ඉතා සුළු මුදලක් තමයි සෑහෙන කාලයක සිට වෙන් කරලා තිබුණේ. නමුත් පසුගිය අවුරුදු 50-60ට වැඩිය පසුගිය අවුරුදු දෙක තුනේ ඒ සඳහා අපි අය-වැයෙන් මුදල් වෙන් කළා. එම අංශත් අපි ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරන හැටි තමයි ඒ. මේ තිබෙන විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳ යම් යම් විවේචන තිබෙනවා වගේම, ඒ විවේචන ඉදිරිපත් කරන අය අපි ඉඳගෙන ඉන්න පුටුවේ වාඩි වුණොත් ඒ අයට තේරෙයි ඔය විවේචන කොතෙක්දුරට සාධාරණද, නිවැරැදිද කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon