සෞදි හාම්පුතාගේ වෙඩි පහරින් මියගිය වඳුරඹ ප්‍රියංකාගේ අනුවේදනීය කතාව

  👤  3123 readers have read this article !
By mawbima 2018-03-15

එයා රට ගියේ අපේ පවුල ජීවත් කරන්න. අපිට ඉන්නේ දූලම තුන්දෙනෙක්. එක්කෙනෙක් නම් බැඳලා. දෙවැනියා තාම පාසල් යනවා. එයා ඉන්නේ අට වසරේ. තුන්වැනියාට අවුරුදු 08යි. මේ දෙන්නම උෟරල ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මගේ බාල දරුවා හදවත් රෝගියෙක්. එයාගේ පපුවේ හිලක් තියනවා කියලා බේත් කරනවා. එයාගේ බේත්හේත්වලටම තමයි අපි ණය වුණේ. ඒ දරුවාව හොඳ කරන්න තමයි අපේ සේසතම වියදම් වුණේ. ඇඬූ­ කඳුළෙන් මෙසේ පවසන්නේ පසුගිය 10දා සෙනසුරාදා සෞදියේ හාම්පුතකුගේ පුතකු අතින් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ගාල්ල වඳුරඹ කටුබුරාව ප්‍රදේශයේ අබේසුන්දවත්තේ පදිංචිව සිටි 38 හැවිදි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ සැමියා වූ. එල්. ජී. උපුල් (47) මහතායි.

රන් කහවණු ගෙන ඒම සඳහා විදේශ ගතවූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් මෙම ඛේදනීය ඉරණමට මුහුණ පෑවාය. සෞදියේ සේවය කරමින් සිටියදී සිය හාම්පුතාගේ පුතාගේ වෙඩිපහරින් ඝාතනය වූ ප්‍රියංකා ජයසේකර නම් වූ ගෘහ සේවිකාව තිදරු මවකි. අදාළ සේවිකාව සෞදි අරාබියේ බූරේද්හ් හිදී ඝාතනය වී ඇති අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකළ බව කියන හාම්පුතාගේ 31 හැවිරිදි පුතා මානසික රෝගයකින් පෙළෙන බවත් දඩයම් කිරීම සඳහා යොදාගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා පසුව ඔහුද වෙඩි තබාගෙන ඇති බවත් සඳහන් වෙයි.

"12 වැනිදා මට කෝල් එකක් ආවා. රට නොම්මරයක් නිසා මම නෝනා කියලා කතා කළා. නෑ මේ නෝනා නෙවෙයි කතා කරන්නේ කිව්වාට විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කරගන්න කිව්වා. මම ඇහුවා මොකද කියල. ආයිත් ඒක අයින් කරන්න කියලා. මම කිව්වා ඒකේ මැඩම් ඒක අයින් කරලා ඇති කියලා. ඊට පස්සේ කිව්වා. එච්චරයි වුණේ. පස්සේ හවස තමයි ආරංචි වුණේ මෙහෙම දෙයක් වෙලා කියලා. මගේ නෝනා මීට කලින් කීප වතාවක් විදේශගත වුණා. ඒ හැම වතාවෙම වසර 02 බැගින් තමයි හිටියේ. අවසාන වරට ලංකාවට ආවේ 2009 අවුරුද්දේ. පස්සේ මේ සැරේ යන්න වුණේ මේ දරුවාගේ බෙහෙත් හේත්වලට වැඩි වියදමක් ගිය නිසා. මේ ගමනට අපි මුලින් කැමැති වුණෙත් නෑ. ඒත් කලින් ගිහිල්ලා ඇවිල්ලා තියන නිසා පස්සේ අප කතා කරගත්තා මම ළමයි බලා ගන්නම් කියලා. දූලා දෙන්නව හොඳ ඉස්කෝලෙකට දාන්නම්. අලුත් පොත් බෑග් අරගෙන එන්නම් කියලා ඔළුව අතගාලා එයා ගියේ."

මේ සැරේ ගිය වෙලේ ඉඳලම ප්‍රශ්න. ණය වෙලා තමයි යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කළෙත්. බය නැතිව ණය වෙලා ඒවා කළේ කලින් ගිහින් ආපු නිසා. හැබැයි මේ සැරේ ගියපු දවසේ ඉඳලා කතා කළේ නෑ. ඒ පාර මම හැමතැනම දිව්වා නෝනා හොයාගන්න. අපිට තිබුණු ප්‍රශ්න මදිවට ඒ පාර තව ප්‍රශ්නයක් ආවා. ඒජන්සිය උදේ අරින කොටම එතැනට ගිහිල්ලා අහනවා. බැරිම තැන තමයි විදේශ සේවා එකේ පැමිණිල්ල දැම්මේ. ඒ පාර එතන මැඩම් කෙනෙක් ඒක විභාග කළා. විභාග කරලා මාසෙකට සැරයක් අපිට කතා කරන විදියට හදලා දුන්නා. ඒ පාර කතා කරලා පඩි එව්වා. හැබැයි කඩින් කඩ එව්වේ. එයා කතා කරන කොට කිව්වා මෙතන කරදර නිසා ගෙදර මාරු කරන්න කියල පැමිණිල්ලක් කළා කියලා. නමුත් එයා මාරු කරලා තිබුණේ නෑ. ඔය පැමිණිලි දාලා මොනවා කළත් මේ මාස 06න් තුනයි එයාට පඩි ලැබුණේ. කතා කරපු වෙලාවක මම ඇහුවාම කිව්ව. හාම්පුතා නැති නිසා එයා අවාම පඩි දෙනවා කිව්වා කියලා. අපිට අවසන් මාස 03කින් පඩි ලැබුණේ නෑ. පසුගිය මාසේ 10 දා තමයි අන්තිමට එයා මට කතා කළේ. දරුවෝ දෙන්නා බලාගන්න කිව්වා. පන්සලේ දානේ ළඟ නිසා ඒක ලෑස්ති කරන්නත් කිව්වා. පොඩි දරුවාගේ බෙහෙත් වෙලාවට දෙන්න කිව්වා. දරුවාගේ කෑමවල අඩුවක් කරන්න එපා කියලත් කිව්වා. ගේ ඩිංගක් හදාගන්න ඕන කියලත් අපි කතා කළා. ඒත් මම ඇහුවා දැන් පඩි නැතිව සල්ලි කොහොමද කියලා. පඩි ලැබුණු ගමන් සල්ලි එවන්නම් කියලා කිව්වා. ඉක්මනටම ෆෝන් එක තිබ්බා. එදායින් පස්සෙ කතා කළේ නෑ. මම සුළු සුළු වැඩ කර කර හිටියේ. නමුත් එයා ගියාට පස්සේ මං දරුවන් බලාගෙන හිටියා. එයාට අවශ්‍ය වුණේ අපේ පොඩි දරුවාව කොහොම හරි සනීප කරගන්න. අද ඒ ඔක්කොම වතුරේ ගියා. අපි ගේ හදාගන්න හිටියා. ඒවා මුකුත් කරගන්න බැරි වුණා.

මේ සම්බන්ධයෙන් ගාල්ල වඳුරඹ කටුබුරාව ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ඥාතීන් පවසන පරිදි පසුගිය 2017 වර්ෂයේ ඇය විදේශගත වී ඇත්තේ දෙවන වතාවටය. ප්‍රියංකාට දරුවන් තිදෙනකු සිටින අතර එක් දරුවකු හදවත් රෝගයකින් පීඩා විඳින නිසා එම වෛද්‍ය වියදම් දරා ගැනීමට අපහසු නිසාත් මෙසේ විදේශගත වූ බව ප්‍රියංකාගේ ඥාති සොහොයුරියක් වන නදීකා ලක්මාලි මහත්මිය පැවසුවාය. ඇය තවදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉක්මනින්ම සිදු කළ යුතු බවයි. මෙවන් මානසික රෝගියෙක් අදාළ නිවෙසේ සිටි බව මීට කලින් සිය සොහොයුරිය සඳහන් කර නොමැති බවත් ඇය කියයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙම දරුවන්ගේ නිවෙස පවා මේ වන තෙක් සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි.

හතර වටේටම ණය තිබුණා. ඒ නිසාම තමයි මේ මගේ නැන්දා රට ගියේ. රට ගියාට පස්සේ මාස කිහිපයකින් තොරතුරක් තිබුණේ නෑ. ඊට පස්සේ අපි විදේශ සේවා එකේ පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සේ හැමදාම ඒජන්සියට ගියා. ඒ ගියහම කියනවා හෙට කතා කරවන්නම් කියලා. හැමදාම කිව්වේ ඔය කතාව තමයි. විදේශ සේවා එකේ පැමිණිල්ලෙන් පසුව මාස තුනක් විතර අපිට සල්ලි එව්වා. කතා කළා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ මාර්තු 10 දින. 12 දින අපිට විදේශ අංකයකින් කතා කරලා තියෙනවා. විදේශ සේවා එකට දාපු පැමිණිල්ල අයින් කරන්නලු. එයාලා ඇයි එහෙම කියන්නේ. අපි දන්නේ නෑ මැරිලාද නැද්ද කියලා. කවුද මේ දරුවන්ට අම්මා කෙනෙක් දෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්න පුළුවන්ද?

ප්‍රියංකා ගේ සැමියාගේ සහෝදරයා වන එල්. ජී. ජයන්ත මේ සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.

වඳුරඹ පොලිසිය තමයි අපිට ඇවිල්ලා කිව්වේ මේ ගැන. එහෙම කිව්වේ නැත්නම් අපි මේ ගැන හාංකවිස්සියක් දන්නේ නෑ. ඊට පස්සේ අපි ආයිත් ඒජන්සියට කතා කළා. එයාලා කියනවා අපිට වන්දියක් හම්බවේවිලු. අපිට මහත්තයෝ වන්දිද ඕන. වන්දිය ගැන කතා කරලා වැඩක් නෑ.
මේ ළමයින්ට අම්මා නැතිව. පොලිසියේ අය නැත්නම් අපි තාම දන්නේ නෑ. මොකද වෙලා තියෙන්නේ කියලා.

අපේ රටේ සහෝදර සහෝදරියන්ට සිදුවන ගැහැට ගැන කොතෙක් කතා ඇති. ඒවා එසේ වුවද පවතින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා බොහෝ දෙනෙක් විදේශ ගෘහ සේවය මෙම මාර්ගය තෝරා ගනිති. කෙසේ නමුත් මේ වන විට මෙම ශ්‍රමිකයන් විදේශගත කිරීම විදේශ නියුක්ති කාර්යාශය හරහා තරමක් ක්‍රමවත් වී ඇත. කෙසේ නමුත් විදේශ ගතවන ශ්‍රමිකයන් දස දහස් ගණනක් අතර දුක්ඛදායී කතන්දර නැත්තේ ද නොවේ.

රන් කහවණු සොයා එතෙර ගිය ප්‍රියංකා ගේ ජීවිතයද හාම්පුතකුගේ උණ්ඩයකින් අවසන් වී ඇත. මේ වන විටත් දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුවෙමින් පවතියි. කෙසේ නමුත් දැන් ප්‍රියංකාගේ ජීවිතය නැති වී ඇත. ජීවත්ව සිටින ප්‍රියංකාගේ දරුවන් වෙනුවෙන් වගකිවයුතු ආයතන සහන සැලසිය යුතුමය.
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon