මුලතිව් දිසාවේ පිලාකට්ටිවල යළි පදිංචි කළ පවුල් 47කට කිසිම පහසුකමක් නැතිලු

  👤  2845 readers have read this article !
By mawbima 2018-03-15

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව් දිස්ත්‍රික්කයේ පිලාකට්ටි ප්‍රදේශයේ යළි පදිංචි කොට ඇති පවුල් 47කට අයත් පුද්ගලයන්ට මේ වනතුරු රජයෙන් කිසිදු පහසුකමක් ලැබී නොමැති බවට ඔවුන් පුනරුත්ථාපන හා යළි පදිංචි කරවීමේ අමාත්‍යාංශයට පැමිණිලි කොට තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එම ගම්මානයේ වැසියන්ට පමණක් ස්ථිර නිවාස, වැසිකිළි, ළිං හා ස්වයං රැකියා ආධාර කිසිවක් ලැබී නොමැති බව ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

මේ පිළිබඳව මුලතිව් දිසාපතිනි රූපවතී කේතීස්වරන් මහත්මියගෙන් විමසූ විට එතුමිය කියා සිටියේ අදාළ පැමිණිල්ලේ පිටපතක් තමන්ටද ලැබී ඇති බවයි.
මේ පිලාකට්ටි ගම්මානයේ පවුල් 47න් කිසිම වැසියකුට ස්ථිර ඉඩම් බලපත්‍රයක් නොමැති නිසා ඔවුන්ට රජයෙන් සපයා දිය හැක්කේ මාස නවයක කාලයකට වියළි සලකා පහසුකම් හා තාවකාලිකව කිසියම් ස්ථානයක යළි පදිංචිවීම සඳහා ලබාදෙන සෙවිලි තහඩු 20කුත් පමණක් බවයි.

ඊට අමතරව යළි පදිංචි කෙරෙන වැසියන්ට ඉන්දීය රජය මඟින් ලබාදෙන මුළුතැන්ගේ උපකරණ කට්ටලය ඇතුළු භාණ්ඩ කීපයක් පමණක් ලබාදිය හැකි බව පැවසූ දිසාපතිවරිය මේ වන විට ඒ සියලුම දේ ඔවුන්ට ලබාදී අවසන් බවද කියා සිටියාය.

මේ පවුල් පිළිබඳව සියලු තොරතුරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් පසුව ඔවුන්ට රජයෙන් ඉඩම් කැබලි ලබාදෙන මෙන් උපදෙස් ලැබී ඇති බව කී දිසාපතිවරිය රජයෙන් ලබාදීමට නියමිත ප්‍රදේශවල පදිංචියට යෑමට ඔවුන් අකැමැති බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ පිලාකට්ටි ප්‍රදේශයේම ඉඩම් බවත් දිසාපතිවරිය කියා සිටියාය.

එම ගම්මානයේ ඔවුන්ට ලබාදීම සඳහා එක අක්කරයක්වත් නොමැති බව එම වැසියන්ට කියා සිටියද ඔවුන් එය පිළිගැනීමට අකැමැති වන්නේ එක් එක් සංවිධානවල පිරිස් විසින් ලබාදෙන වැරැදි අදහස් නිසා බවද දිසාපතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.
කෙසේ හෝ යුද අනාථයන්ට රජයෙන් ස්ථිර නිවෙසක් ඇතුළුව ලැබීමට නියමිත සියලු දේ මේ වැසියන්ටද ලබාදෙන බව කී දිසාපතිවරිය ඒ සඳහා තව කෙටි කාලයක් ගතවනු ඇතැයිද කියා සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon