අතුරුදන් වූ අය ගැන තොරතුරු සොයා බලන්න ස්විට්සර්ලන්ත නිලධාරීන් පිරිසක් උතුරට ඇවිත්

  👤  3067 readers have read this article !
By mawbima 2018-03-15

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යුද සමයේදී උතුරු ප්‍රදේශයෙන් අතුරුදන්වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බැලීම පිණිස ස්විට්සර්ලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරි පිරිසක් මේ දිනවල උතුරු පළාතට පැමිණ සිටිති.

ස්විට්සර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කීපදෙනකු කිලිනොච්චියේ කන්දසාමි කෝවිල අසල වසරකට වඩා වැඩි කාලයක් අඛණ්ඩ විරෝධතාවක නිරත පිරිස හමුවී මේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා තිබේ.

මෙහිදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් එම නිලධාරීන්ට පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයන් වර්ග දෙකක් සිටින බවය.
ඉන් එක කොටසක් යුද සමයේදී අතුරුදන් වූ පිරිස වන අතර අනෙක් පිරිස ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද පිරිස බවයි.
ආරක්ෂක අංශ විසින් සාක්කි සාධක සහිතව අත්අඩංගුවට ගත් විශාල පිරිසක් දැනට අතුරුදන්වී සිටින අතර ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත භාර දෙන ලද පිරිසක්ද අතුරුදන් වී ඇති බව කිලිනොච්චියේ විවිධ සංවිධානවල පිරිස ස්විට්සර්ලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් සාක්කි සහිතව තොරතුරු මැක්ස්වල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කොට ඇති බවත් ඒ අනුව උතුරු පළාතේදී පමණක් පුද්ගලයන් 22,000කට වඩා අතුරුදන් වී ඇති බවට තොරතුරු සඳහන් වන බවත් කිලිනොච්චියේ පිරිස පවසා ඇත.

මීට අමතරව බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද පුද්ගලයන් විශාල පිරිසක් වෙනුවෙන් මුලතිව් අධිකරණයේ හබයාස්කෝපස් නඩු කීපයක්ද විභාග වෙමින් පවතින බව අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයාබලන කිලිනොච්චියේ විවිධ සංවිධානවල නියෝජිතයන් ස්විට්සර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon