කිරිල්ලියක සේ නිදහස භුක්ති විඳින්න කාන්තාවට බැහැ

  👤  3543 readers have read this article !
By mawbima 2018-03-14

ජගත් කාන්තා දිනය ඉකුත් 8දා සමරනු ලැබුවේ කාන්තාවන් තවදුරටත් සමාජයීය පීඩනයට හිංසනයට හා නොසැලකිල්ලට බඳුන් වෙමින් සිටියදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තාවන් වෙනුවෙන් දිනයක් නම් කරනු ලැබුවේ ඉතිහාසය පුරා ඇයට සිදුවන අසාධාරණකම් නිසාය.

ජේ‍යෂ්ඨ පුවත්පත්කලාවේදිනියක් මෙන්ම ප්‍රවීණ ලේඛිකාවක වන අනුල ද සිල්වා සමඟ මේ සංලාපය කාන්තාවගේ භූමිකාව පිළිබඳවය.

කාන්තාවන් වෙනුවෙන් දිනයක් නම් කළ යුතු නැතැයි
සමහරුන් පවසනවා. ඔබ එය අනුමත කරනවාද?

හතු පිපෙනවා වගේ දින වෙන් කිරීම් සිදු වෙනවා. එක දවසකට හරි කාන්තාවන් ගැන යම් කතාබහක්, උනන්දුවක් ඇති වෙන එක හොඳයි. මම කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන් කරනවාට විරුද්ධ නැහැ. නමුත් කාන්තාවන් පිළිබඳ ඇති වෙන කතාබහ එක දිනකට සීමා නොවී එය පවත්වාගෙන යා යුතුයි. ඒ උද්යෝගය සමාජය තුළ පැවැතිය යුතුයි.

ඇතැම් දියුණු රටවල පවා කාන්තා අයිතිවාසිකම්
අමු අමුවේ උල්ලංඝනය කරනවා නේද?

ගැහැනු අපි සම තැන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ නිසි තැන. විටෙක සම තැනට වඩා නිසි තැන ඉහළයි. දියුණු රටවල කාන්තාවන්ට අසීමිත නිදහසක් ලැබිලා තියෙනවා. මේ නිදහස තුළ කොයිතරම් ඇය දැනුවත්ව හා නොදැනුවත්ව ඇගේ අයිතිවාසිකම් කඩ වෙනවද කියන එක විමසා බැලිය යුතු කරුණක්. හුදෙක් කාන්තාවන් ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමේ මෙවලම් ලෙස භාවිත වන අවස්ථා ජපානය වැනි රටවල දක්නට ලැබෙනවා. මේ කාර්යයට කාන්තාවන් සඳහා විශාල මුදලක්, සැපවත් ජීවිත ලැබෙනවා විය හැකියි. නමුත් ඇගේ අයිතිවාසිකම් ඛණ්ඩනය වීම සිදු වෙනවා.

හැඳි මිටේ නුවණ, පින කුණු මුල්ලේ යැයි කියමින්
අපේ කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දක්වපු කාලේ
ඉවර වෙලාද?

අතීතයේ පවුල්වල තිබුණා පුහු මහන්තත්තකමක්. ඒ සමාජ පරිසරයත් එක්ක ඔවුන් හිතුවා ගැහැනු ආරක්ෂා කළ යුතු වස්තුවක් කියලා. ඒ තුළ ගැහැනුන්ගේ බුද්ධිය, දරා ගැනීමේ හැකියාව, සූක්ෂ්ම බව මේ කියන සියල්ල ගෙයි බිත්ති හතරට, කුස්සියට කොටු වුණා. නමුත් අද තත්ත්වය වෙනස්. ඒ නිසා මේ කියමන් වර්තමානයට අදාළ නැහැ. අද කාන්තාවන් හැඳි මිටෙන් එහා ගිහින් තියෙනවා.

නමුත් අදටත් සමහර කාන්තාවන් වුවමනාවෙන්ම ඔය කියමන්වලින් හඳුන්වන කාන්තාවන්ගේ ගොඩට වැටෙනවා. සමහර වෙලාවට සමහර සිද්ධි බලපුවහම අපචාරයට ලක්වූවන්, සිය ජීවිතයෙන් වන්දි ගෙවූවන්, අඩු අධ්‍යාපනයක් ලද සමාජ තත්ත්වයක් නැති අය ලෙස වර්ග කරන්න බැහැ. ආශාවල්, හදිසි තීරණ, උගත්කමට, සමාජ තත්ත්වයන් වසා දමමින් නැඟිටපු අවස්ථා තියෙනවා.

කාන්තාවන්ට වෘත්තීය ක්ෂේත්‍රයේ පෙරට යෑමට
බාධා තියෙනවා. ඔබේ අත්දැකීම කුමනාකාරයෙන්ද?

කාන්තාවන්ට බාධා තියෙනවා. නමුත් ඒ බාධා බිඳ දමමින් නැඟිට ගමන් කිරීමට තරම් ශක්තියක් අප තුළ තිබිය යුතුයි. සමහර අවස්ථාවල ගැහැනුන්ට පිරිමින්ගෙන්ම විතරක් නෙවෙයි වෘත්තීයමය තත්ත්වයන් තුළ ගැහැනුන්ට ගැහැනුන්ගෙන්මත් කරදර හිරිහැර සිදු වන අවස්ථා තියෙනවා.

අපේ රටේ අගමැති තනතුර මෙන්ම ජනාධිපති තනතුරත් කාන්තාවන් දැරුවා. ඔවුන් රට පාලනය කළා. අපේ රටේ කාන්තාවන්ට ඉදිරියට යෑමට ප්‍රසිද්ධියේ සීමා මායිම් පනවලා නැහැ. නමුත් බලපෑම් තියෙනවා. ඉදිරියට ඇවිත් ඔළුව උස්සලා පිරිමින් එක්ක ගැටෙමින් තම හීනවලට ගිය කාන්තාවන් ඉන්නවා. ඔවුන්ට ඒ හැමදේම ලැබුණේ වාසනාව නිසා යැයි කියන්න මම කැමැති නැහැ. වාසනාව කියන්නේ උත්සාහයට. එහෙමත් නැත්නම් තැනට සුදුසු නුවණට.

මටත් මම ආපු ගමනේ බාධා හමු වුණා. අත්හැර දැමිය යුතුයි කියලා හිතෙන තැන් හමු නොවුණා නෙවෙයි. ඒ අවස්ථාවලදී අපි සූක්ෂ්ම විය යුතුයි. අපි පාරට බහින්න ඕන පාරේ යනකොට ගල් බොර, වළවල් එහෙම තියෙනවා කියන අවබෝධයෙන්. අපේ ජයන්ති කුරු උතුම්පාල සොයුරියට එවරස්ට් නඟින්න පුළුවන් වුණා නම් වෘත්තීයමය ක්ෂේත්‍රයේ නැඟී සිටීමට ඔබට අවශ්‍ය වන්නේ ශක්තිය හා ආත්ම විශ්වාසය පමණයි.

ඔබේ තරුණ කාලය හා සස¼දා බලන විට
අද තරුණියන් භුක්ති විඳින නිදහසට එකඟද?

නිදහස භුක්ති විඳින්න ඕන. නමුත් කාන්තාවන් නිදහස් කියලා අහසේ පියාඹන කුරුල්ලන් වගේ ඔහේ සැරිසරන්න බැහැ. කාන්තාවන්ට පිරිමියෙක්ට මෙන්ම දියණියක්, සොහොයුරියක්, මවක්, යෙහෙළියක් විදියට සමාජ කාර්යයන් පැවරෙනවා. ඒ කාර්යයන් අපිට මඟහැර යන්න බැහැ.

අද කාලේ තරම් අපේ කාලේ නිදහසක් තිබුණේ නැහැ. මම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ගත්ත තීරණයට අපේ ගෙවල්වලින් කොහෙත්ම කැමැති වුණේ නැහැ. නමුත් අද මවුපියන් දරුවන් කොටුකරගෙන නැහැ. දරුවන්ට උපරිම නිදහසක් දීලා තියෙනවා. නමුත් මවුපියන් සැලකිලිමත් විය යුතුයි දරුවාට දීලා තියෙන නිදහස තුළ දරුවා මොනවද කරන්නේ කියන කාරණය ගැන. ඒ වගේ දරුවනුත් තමන් ගෙදරින් සමාජයෙන් ලැබිලා තියෙන අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න ඕන.

දරුවන්ට නිදහස ලබාදී මව සැලකිලිමත් විය යුතුයි දරුවන් ගැන. දැන් සමාජය හරිම බිහිසුණු තැනක් වෙලා. ගෙදරින් එළියට ගිය දරුවා යළි එනතුරු විශ්වාසයක් නැති තත්ත්වයකුයි අද තියෙන්නේ. ඒක ගැහැනු දරුවටත් පිරිමි දරුවටත් පොදුයි. ඉස්සර ගැහැනු ළමයින්ව රැකිය යුතු වස්තුවක් ලෙස රැක්කා. මම හිතනවා යළිත් ගැහැනු ළමයි පිළිබඳව වැඩි අවධානයෙන් ඇයව ආරක්ෂා කරගත යුතුයි කියලා.

ක්‍රියාකාරී දේශපාලනයේ වැඩි ඉඩක් කාන්තාවන්ට
හිමිවීම ජයග්‍රහණයක් නේද?

අපේ රටේ ඉතිහාසයේ දේශපාලනය තුළ ප්‍රබල කාන්තාවන් හිටියා. අගමැති, ජනාධිපති වුණා. නමුත් මම හිතන විදියට කාන්තාවන්ගේ ප්‍රශ්න විස¼දන්න කාන්තාවන් දේශපාලනයටම යා යුතු නැහැ. දේශපාලනයේ නියැළෙනවා නම් ඒ කටයුත්ත හරියටම කළ යුතුයි. මඟහැර යන්න බැහැ. පැය 8 හෝ 9 සේවයෙන් පසු විවේක ගන්න බැහැ. ඇත්තම කතාව දේශපාලනය කරන්න ගියොත් ඒකෙන් ගැලවීමක් නැහැ. නමුත් ඒ කැප කිරීම කරන්න පුළුවන් අය ඉන්නවා. කැපවීමෙන් ඒ කටයුත්ත හරියට කරන්න පුළුවන් අය ඒක කළාට කමක් නැහැ.

පවුල් ජීවිතවල ගැටලු එදා මෙන්ම අදත් තියෙනවා.

නමුත් අද එහි වර්ධනයක් තියෙනවා නේද?

වගකීම් දරන්න, යුතුකම් ඉටු කරන්න බැරිව ඉන්නවා. ඉතින් සැමියයි, බිරියයි පැටලෙනවා. පවුල් ජීවිතේ ප්‍රශ්නවලට කාන්තාව විතරක් වගකිව යුතු නැහැ. දෙදෙනාම වගකිව යුතුයි. අද දික්කසාදයත් මෝස්තරයක් වෙලා. පවුල් ජීවිතවල ප්‍රශ්නත් මෝස්තරයක් කරගෙන. විවාහයට කලින් ආදරවන්තයෝ විදියට ඉන්න කොට දෙන්නා ඉන්නේ යාළුවෝ වගේ. බලපෑම් අඩුයි. ඝට්ටන අඩුයි. ඇයි විවාහයෙන් පස්සෙත් බිරියට, සැමියාට හොඳ යාළුවෙක් වෙන්න බැරි.

අද සමාජයේ තියෙන්නේ මහා විකෘතියක්. මේ විකෘතිය ඇතුළේ තනි තනිව ගොඩනැඟෙන්න බැහැ. එක පවුලක් වුණාට පස්සේ දෙන්නා දෙන්නාගේ අදහස්වලට එකඟ වෙන්න ඕන. එක් අයෙක් තරහ අරගෙන නම් අනෙක් කෙනා කෙසේ හෝ තම තරහා පාලනය කරගෙන නිහඬ විය යුතුයි. දෙදෙනාම එකවර හඬ නඟමින් ගැටලු දිග්ගස්සවා ගත යුතු නැහැ. නිවෙසේ ඇති වන ගැටලුවලදී පිරිමියාට වඩා ගැහැනුන් ඉවසිලිමත් විය යුතුයි. දරු ප්‍රසූතියකදී අසීමිත වේදනාවක් දරන ඇයගේ දරා ගැනීමේ ශක්තිය උපරිමයි. ඉතින් ඇය නිවසේදීත් ඉවසිය යුතුයි. හැකි සෑම විටකදීම මනා අවබෝධයකින් සැමියා හා බිරිය හොඳ යහළුවෝ දෙන්නෙක් විදියට සමාජ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යා යුතුයි.

ලේලිය රැකියාවක නියැළීමත්, පවුල් තුළ නැන්දම්මා
ලේලි ගැටුම ඇති වීමට හේතුවක් ලෙස දකිනවාද?

ලේලිය රැකියාවක් කරනවා කියන එකම නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නය. හුඟක් නැන්දම්මලා ලේලියට ඊර්ෂ්‍යා කරනවා. පුතාට ලේලියක් ගෙන එනකොට නැන්දම්මා වයසට ගිහින්. කොණ්ඩය හැලිලා. සුදු වෙලා. ලස්සන නැහැ. නමුත් ලේලිය හැඩයි. ඒ වගේම අද කාලේ තරුණියෝ හැඩට අඳිනවා. විලාසිතා කරනවා. ඒ වගේ ඉස්සරට වඩා සමාජශීලී. ගොඩක් කාන්තාවන්ට හොඳ සමාජ තත්ත්වයකුත් තියෙනවා. ඒ වගේම සමහර ලේලිලා ගෙදර දුවටත් වඩා බැබළෙනවා. ඉතින් මේ දේවල් එක්ක නැන්දම්මලා ලේලියත් එක්ක ඝට්ටන ඇති කර ගන්නවා.

පුතාට විවාහයක් කර දුන්නට පස්සේ නැන්දම්මා හිතනවා නම් පුතා මගේ, පුතා මම කියන විදියට ඉන්න ඕන කියලා ඒක වැරැදියි. විවාහයෙන් පස්සේ පුතාටත් පුතාගේ බිරියටත් තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගන්න දීලා නැන්දම්මලා පැත්තකට විය යුතුයි. නැන්දම්මා තමන් ළඟට එන ලේලියට ආදරෙන් සැලකීමයි මූලිකවම කළ යුත්තේ. තමන්ගේ දුවට වගේම සැලකුවොත් අවවාදයක්, අනුශාසනාවක් වුණත් ලේලියත් පිළිගන්න තත්ත්වයට පත් වෙනවා.

ආර්ථික, සමාජයීය, දේශපාලන පමණක් නොව
සංස්කෘතික අර්බුදයකට මුහුණ දී සිටින රටක්
ඉන් මුදා ගැනීමට අපේ කාන්තාවන්ට
භූමිකාවක් තිබේද?

ඔව්. සැබැවින්ම යමක් කළ හැකියි. මේ කටයුත්තට උර දීම ආරම්භ කළ හැකි හොඳම කෙනා තමයි අම්මා. අම්මාට ගෙදරින් පුළුවන් මේ කටයුත්ත ආරම්භ කරන්න.
නමුත් එහිදී අම්මා නිසි පරිදි අම්මාගේ භූමිකාව නිරූපණය කළ යුතුයි. අද අම්මලාට අම්මලාගේ භූමිකාවන් අමතක වෙලා. උදේ ඉඳලා රෑ වෙනකම් එක්කෝ රූපවාහිනියේ ඉදිරිපිටට වෙලා කසිකබල් නාට්‍යයක් දිහා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ නාට්‍යවල තියෙන ලෝකය සැබෑව තුළින් සොයන්න උත්සාහ කරනවා. එක්කෝ කුණුහරුප පොතක් බලනවා. ඒ වගේම තමයි තාක්ෂණය. මේ සියල්ලත් එක්ක අද බහුතරයක් අම්මලා හරිම කම්මැළියි. තමන් දකින දේ තමයි ලෝකය කියලා හිතාගෙන අනුකරණය කරමින් ඔහේ ජීවත් වෙනවා.

අරයා කරන එක, මෙයා කරන එක, එහා ගෙදර කෙනා කරන එක මමත් කළ යුතුයි කියන තැන ඔබ සිටිය යුතු නැහැ. අනෙක් අය කරන දේවල් දිහා බලන්න. ඒකට කමක් නැහැ. පාට කරපු කොණ්ඩ දිහා, කොට ඇඳුම් දිහා, ලස්සන ගෙවල්, අලුත් වාහන මේ හැමදෙයක්ම දිහා බලන්න. බලලා සතුටු වෙන්න පුළුවන් නම් සතුටු වෙන්න. හිනා යනවා නම් හිනා වෙන්න. නමුත් මොනවා දැක්කත් මොනවා ඇහුවත් තමන් තමන්ගේ අනන්‍යතාව නැති කර ගන්න එපා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon