දඹුල්ලට - කන්දේ විහාරයට කළ දේ කොත්මලේටත් කරන්න හදනවා

  👤  3625 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (15).jpg (600×350)

මහනුවර - නදීක දයා බණ්ඩාර

මහවැලි ව්‍යාපාරයේ කොත්මලේ ජලාශයට යටවූ ගම්දනව් හා වෙහෙර විහාර වෙනුවෙන් ඉදිකළ කොත්මලේ මහවැලි මහ සෑය, පෞද්ගලික සමාගමක් යටතට ලබාගැනීමට රජය කටයුතු කරන බව එම විහාරයේ භාරකාර විහාරාධිපති තිස්පනේ ජිනානන්ද හිමියෝ පැවැසූහ.

මල්වතු මහා විහාරයේ ආශීර්වාද මත වර්ෂ 1983දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතා විසින් මේ විහාරස්ථානය ආරම්භ කළ බවත් දේශපාලන හා පෞද්ගලික මත හේතුවෙන් වර්ෂ 1992 සිට වසර දහයක පමණ කාලයක් ඉදිකිරීම් අත්හිටුවීමෙන් විහාර භූමිය වල්වැදී තිබුණු බවත් මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්පනේ ජිනානන්ද හිමියෝ පැවැසූහ.

කොත්මලේ මහවැලි මහ සෑ භාරකාර විහාරාධිපති තිස්පනේ ජිනානන්ද හිමියෝ මෙසේද පැවසූහ.

වසර දහයක පමණ කාලයක් මේ සිද්ධස්ථානය වල්වැදී ජරාවාස වෙමින් තිබුණා. ඒ නිසා මල්වතු මහා විහාරයද කොත්මලේ මහා සංඝරත්නයද එහි ජනතාවද මේ විහාරය ගොඩනඟන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මගේ මූලිකත්වයෙන් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා එවකට මහවැලි අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාද මත සෑය ගොඩනැඟීමේ කටයුතු යළි ආරම්භ කළා. වත්මන් අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහයෝගයද මේ සඳහා නොමසුරුව ලැබුණා.

සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා මහවැලි සංස්කෘතික පදනම් භාරය නමින් පදනමක් සකස් කළ අතර එහි සභාපති බවට පත්වුණේ වත්මන් අමාත්‍ය නවීන් දිසානායක මහතායි. රජයේ මෙන්ම විවිධ දානපතියන්ගේද සාමාන්‍ය පොදු ජනතාවගේද ආධාර ඇතිව ඉදිකිරීම් නිම කරන ලද සෑය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2016දී සඟ සතු කළා. නමුත් අද වනවිට මහා සංඝරත්නය ඉවත්කොට එම සෑය කැබිනට් ප්‍රතිකාවක් මඟින් මහවැලි සංස්කෘතික පදනම් භාරය යටතට පවරා ගැනීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කරනවා.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ දෙනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී හිමියෝ එහිදී අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
කොත්මලේ මහවැලි මහ සෑය දෙවැනි වර සංවර්ධනය කිරීමේ කාර්යයේදී වර්ෂ 2002 ජනවාරි මස 29 වැනි දින මමත් එහි ගියා. ඒ ස්ථානය වල් වැදී තිබුණා. අඩි පාරකින් තමයි යන්න තිබුණේ. එහි තිබුණේ මහා පස් කන්දක්. සංවර්ධනය කිරීමේ අවස්ථාවට නවීන් දිසානායක අමාත්‍යවරයා ඔහුගේ මෑණියන් හා සහෝදරයා සහභාගිවී සිටියා.

එදින පැවැති උත්සව සභාවේදී මෙම සෑය කඩිනමින් ඉදිකරන ලෙස අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. එතැන් පටන් මහා සංඝරත්නය පෙරමුණ ගෙන කඩිනමින් සෑය ඉදිකිරීමේ කටයුතු සිදුකළා. ඒ අවස්ථාවේ සිට මහා සංඝරත්නය වස් වසා විනයානුකූලව කටයුතු කළ අතර මේ නිසා කොත්මලේ මහ සෑ පරිශ්‍රය සාංඝික ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

මෙහි ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කළා. සෙසු ඉදිකිරීම් සියල්ල සිදුකළා. නමුත් මෑතක සිට පාර්ලිමේන්තු පනතක් මඟින් විහාරය පවරා ගැනීමට මහවැලි සංස්කෘතික පදනම් භාරය කටයුතු කරනවා. එහි සභාපතීත්වය දරන්නේ අමාත්‍ය නවීන් දිසානායක මහතායි.

වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ඔළුව මෑතක සිට නරක්වෙලා දැයි අපට සිතෙනවා. පන්සල් පවරා ගැනීමට උත්සාහ කරනවා. පින් කැට සීල් කරනවා. පන්සල්වල දේපළ අත්පත් කර ගැනීමට උත්සහ කරනවා. දඹුල්ල රජමහ විහාරය, කන්දේ විහාරයට සිදුවූ තත්ත්වයක් කොත්මලේ මහවැලි මහ සෑයට සිදුවන්න දෙන්න එපා.
භික්ෂූන් වහන්සේ සඳහා සාංඝිකව පූජා කළ දේ අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම සුදුසු දෙයක් නොවන බවයි අපේ හැඟීම. මල්වතු හා අස්ගිරි මහ විහාරවල ලිඛිත නියෝග පවා නොසලකා හරිමින් කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. කොත්මලේ මහවැලි මහ සෑයේ සංවර්ධන කටයුතුවලදී එහි විහාරාධිපති හිමියන්ට බාධාවකින් තොරව කටයුතු කර ගැනීමට අවස්ථාව සලසන ලෙස 2017-02-17 වන දින මල්වතු මහා නායක හිමියන් අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. නමුත් ඒ දැනුම්දීම නොසලකා කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. රජයේ කීර්ති නාමය විනාශ කරන මැති ඇමැතිවරුන් පිළිබඳ අවධානය යොමුකරන ලෙස ජනාධිපති සහ අගමැතිවරයාගෙන් අප ඉල්ලා සිටිනවා.

හරංගල ශ්‍රී කල්‍යාණ වර්ධනාරාමාධිපති පූජ්‍ය හරංගල සිරිරතන හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
මෙම ස්ථානයේ අක්කර 40ක් තිබෙනවා. මේ දේපොළ අත්පත් කර ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. පන්සලට අක්කර 40ක් අවශ්‍ය නැහැ. අක්කර 05ක් තිබුණොත් ඇති. ඉතිරි ප්‍රමාණයෙන් ඉඩම් නොමැති දුප්පතුන්ට නිවාස ඉදිකර දීම සුදුසු බවයි මම යෝජනා කරන්නේ.

මෙම විහාරස්ථානය ආරම්භ කරන අවස්ථාවේ සිට මම ඒ වෙනුවෙන් සිටියා. අවුරුදු 10ක් ගරා වැටිලා තිබුණු අවස්ථාවේ කවුරුත් ඒ වෙනුවෙන් කතා කළේ නැහැ. දැන් විහාරය අයිති කර ගන්න හදනවා. මේ කාර්යය නතර නොකරන්නේ නම් කොත්මලේ මහවැලි මහ සෑයේ ඇත්ත තත්ත්වය ඉදිරියේදී ලොවට හෙළි කරනවා.
කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මාදන්වල සෝමානන්ද හිමි, හල්ගොල්ල ශ්‍රී ධර්ම විජයාරාමාධිපති රාවණාගොඩ ධම්මාලෝක හිමි, කැටතුලාවේ ශ්‍රී බුද්ධරශ්මි විහාරාධිපති කන්තලේ සුමංගල හිමි සහ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන සංවිධායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රි අශෝක හේරත් මහතාද මෙහිදී අදහස් පළ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්