ඊළඟ ජනාධිපතිවරණයට අපි එන්නේ අලුත් අපේක්‍ෂකයකු සමඟයි

  👤  3851 readers have read this article !
By mawbima 2018-03-14

පක්ෂයක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට නම් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවෙනවා. පවතින දේශපාලන තත්ත්වයත් සමඟ රට තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයා පවා අපෙන් අෑත් වෙමින් යනවා වගෙයි අපිට දැනෙන්නේ. කෙසේ වෙතත් මේ පවතින සියලු ගැටලු නිරාකරණය කරගනිමින් මීට වඩා ශක්තිමත්ව ඉදිරි ජනාධිපතිවරණයට නව අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (12දා) සමාජ ක්‍රියාකාරීන් පිරිසකට සාමවිනිසුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් තංගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති උත්සවයකදීය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව අපිට රතු එළියකුයි ලබා දුන්නේ. ඒකෙන් කියැවුණේ ආණ්ඩු මාරු කරන්න කියලා නෙවෙයි. පවතින ක්‍රමය වෙනස් කරන්න කියලයි. ඒ අනුව ඉදිරියේදී අපි මේ සිටින තත්ත්වයටත් වඩා වැඩි ශක්තියකින් යුතුව ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා. ඊට අවශ්‍ය කටයුතු ඉදිරියේදී නිසැකවම සිදු වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට අපි එන්නේ නව ශක්තිමත් අපේක්ෂකයකුද සමඟයි.

හිටපු පාලකයන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ තබා තිබූ අපකීර්තිමත් ඉතිහාසය වත්මන් ආණ්ඩුව බලයට පත් වී ඉතාම කෙටිකාලයක් තුළ ඉවත් කර ගැනීමට හැකි වුවත්, බලලෝභි අවස්ථාවාදී දේශපාලනය විසින් මහනුවර මුදාහළ වර්ගවාදී ගිනිදැල් හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව නැවත ඇති කළ කළු පැල්ලම මකා දැමීමට තවත් බොහෝ කලක් ගත වනු ඇති.

වසර 30කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් පීඩා වින්දා. රටේ පැවැති ත්‍රස්තවාදය අවසන් කරන්න අපේ රණවිරුවන් කී දහසක් අතපය, නැති කර ගත්තද. කීදෙනෙක් ඒ ත්‍රස්තවාදය නිසා අදටත් දුක් විඳිනවද? නැවතත් රට තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය කරන්නද ඇතැම් පිරිස් මේ උත්සාහ කරන්නේ.
ජීවිත දහස් ගණනක් පූජා කර අවසන් කළ වර්ගවාදී ගිනිදැල් නැවත දැල්වීමට කවර හෝ කණ්ඩායමකට අවශ්‍ය වෙලා තියෙන බව නම් පැහැදිලියි. රටට ආදරය කරන අපි කිසිම කෙනකුට ඒ සඳහා කිසිම ආකාරයක සහයක් දෙන්න බැහැ. අපි අත්දැකීමෙන් දන්නවා මේ වර්ගවාදී ගිනිදැල්වල ඇති භයානකකම. ඒ ගිනි දැල් නිසා අපිට ලෝකය හමුවේ තිබුණේ ලාංකිකයන් කියන්නේ මහා ම්ලේච්ඡ මිනිස්සු කොටසක් කියන මතයයි.

2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනසත් සමඟ රටක් විදියට අපිට හැකි වුණා ලෝකයා තුළ තිබූ ඒ මතය වෙනස් කරලා ලාංකිකයන් කියන්නේ ලෝකයේ ඉන්න දුක කඳුළ හොඳට හඳුනන අනෙකාට උපකාර කරන ගුණ යහපත්කමින් පිරුණු මිනිසුන් බව ඔප්පු කරන්න. මේ නිසාම රටක් ලෙස අපිට ලැබුණු දේ බොහෝයි. හිටපු පාලකයන් රටට අහිමි කළ බොහෝ දේ අපේ රජයට නැවත ලබාගන්න හැකි වුණේ ඒ නිසයි. නමුත් බලයට එන්න කුමක් හෝ කරන්න සූදානම් කණ්ඩායම් නිසා රටට නැවත විශාල හානියක් වෙලා තියෙනවා.

අද සාමවිනිසුරු පත්වීම ලබන ඔබලා සමාජ ක්‍රියාකාරීන්. ඒ නිසා ඔබලාට අද දවසේ රට ජාතිය වගේම සමස්ත ජනතාව වෙනුවෙන් ඉටුකරන්න ජාතික වගකීමක් පැවැරිලා තියෙනවා. ඒ තමයි වර්ගවාදී කණ්ඩායම්වලින් ජනතාවත් රටත් ආරක්ෂා කිරීම. ගමේ ප්‍රභූන් ලෙස ඒ ජාතීන් අතර සමඟිය ආරක්ෂා කරන්න ඔබලාට හැකියාව තියෙනවා.
මත්තල - ඩී.එන්. ජයසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon