කාඩ්බෝඩ් බෞද්ධයන් කරන්නේ සමඟිය ගැන කියමින් අසමඟිය ඇති කිරීමයි

  👤  3561 readers have read this article !
By mawbima 2018-03-14

තමන් කුමන ජාතියකට අයිති වුවද, කිසිදු ජාතිවාදයකට ආගම්වාදයකට මේ රටේ ඉඩක් නොමැති බවත් සැබෑ බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික ජන ප්‍රජාව කිසි විටෙක අන්තවාදයට උඩගෙඩි නොදෙන බවත් ජාතිවාදය පතුරවා, වෙළෙඳසල් ගිනි තබා, මනුෂ්‍ය ඝාතන සිදුකර රට ගොඩනඟන්නට ආශ්චර්යයක් බිහිකළ හැකි යැයි යමෙක් සිතන්නේ නම් එය සිහිනයක් මෙන්ම කිසි දිනක ජයගත නොහැක්කක් යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35ක් වටිනා බස් රථයක් ප්‍රදානය කිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කෙළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.
ජනවාරි 12 වැනිදා පාසල් 8ක් සඳහා ලබා දීමට තිබූ බස් රථ දෙන්නට නොහැකි වූයේ මේ මැතිවරණය නිසයි. ජනතාව ඒ පිළිබඳව අවිශ්වාසයක් ඇති කර ගනීවි යැයි සිතා මා එම බස් රථ සියල්ලක්ම මගේ නිවෙස ඉදිරිපිට ඉඩමේ ගාල් කර තැබුවා. මැතිවරණයෙන් පසුවත් යම් කාලයක් කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන ලෙසට අපට උපදෙස් ලැබුණා. ඉන් පසුව මා අසනීප වුණා. මැතිවරණයේදී ඡන්දය නොලැබුණු නිසා සජිත් ප්‍රේමදාස බස්රථ රැගෙන කොළඹ ගියා යැයි මේ කාලය තුළදී මුහුණු පොත හා යම් යම් මාධ්‍ය හරහා කතාවක් නිර්මාණය වුණා. අද දේශපාලන ලෝකයේ තත්ත්වය සහ රටේ තත්ත්වය මෙයයි. අද සෑම තැනම බොරුව, කට කතාව, රැවටිල්ල ඉස්මතු වී ජනතාව මුළාවට පත්වනවා. ජනතාව බොහො බුද්ධිමත් වන්නට ඕනෑ.

මා සංවර්ධන වැඩකටයුතු සිදු කරන්නේ ජනතාව ඡන්දය ප්‍රකාශය කරන ආකාරය බලා නෙවෙයි. මා වෙනදාටත් වඩා ජනතාවට සේවය කරනවා.
පසුගිය දින කිහිපයේදී අම්පාර හා මහනුවර ප්‍රදේශවල සිදු වූ සිදුවීම් සියල්ලක්ම සෝචනීයයි. කවුරුන් හෝ තමන්ගේ ආගම, ජාතිය මුල් කරගනිමින් දේශපාලනික වශයෙන් යම් අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරනවා නම් එම පිරිස නොහැකියාවෙන් පෙළෙන පිරිසක් ලෙස මා දකිනවා. කවුරුන් හෝ හැකියාවෙන් ජනප්‍රිය වන්නට උත්සාහ කරනවා නම් පුද්ගලයාට පාසල් ඉදිකිරීම, රෝහල් ඉදිකිරීම, මංමාවත් ඉදිකිරීම, යටිතල පහසුකම් ලබා දීම වැනි සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් වෙහෙස වන්නට වෙනවා. ශ්‍රමය, ධනය, අධිෂ්ඨානය වැනි දේ කැප කරන්නට සිදුවෙනවා. අමාරුවෙන් ජනප්‍රිය වන්නට පුළුවන් ක්‍රමය එයයි.

රට භේදභින්න කර, කෝලාහල ඇති කර, සමාජ විනාශයන් නිර්මාණය කර පටු ජාතිවාදයක් මුල් කර ගනිමින් කෙටි මාර්ගයෙන් ජනප්‍රිය වන්නට පුළුවන්. මහනුවර සහ අම්පාර ප්‍රදේශවලින් අපට දැක ගන්නට හැකි වූයේ එවැනි තත්ත්වයක්. මේ සෑම දෙයක් පිටුපසම මහා මොළකාරයන් කණ්ඩායමක් සිටිනවා. මේ පිරිසගේ එකම අරමුණ රට ගිනිබත් කර හෝ තමන්ගේ දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමයි. ඔවුන්ට රට ගැන හැඟීමක් තිබෙන්නේ මාධ්‍ය ඉදිරියේ පමණයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ මහා සිල්වත්, නිහතමානී අය ලෙස කතා කරනවා. නමුත් ගෙදර ගිය පසු රට ගිනිබත් කරන්ට කුමන්ත්‍රණය කරනවා. අම්පාර සහ මහනුවර ප්‍රදේශවල සිදුවීම් එම කුමන්ත්‍රණයේ පියවරක්. මේ රටේ බහුතරයක් ජාතිවාදය, ආගම්වාදය තරයේ හෙළා දකිනවා. එක්සිත්ව, එක්සත්ව, සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් වන්නට රටේ බහුතරයක් කැමැතියි.
බෞද්ධයෝ යැයි කියා ගත් ඇතැම් පිරිසක් මේ රටේ සිටිනවා. මා ඒ පිරිස දකින්නේ කාඩ්බෝඩ් බෞද්ධයන් ලෙසයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සැබෑ බෞද්ධයෝයි. සෑම දෙනාම සමඟි වන්න, එකමුතු වෙන්න යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඔවුන් අනෙක් පැත්තට සිදු කරන්නේ රට වනසන කුමන්ත්‍රණයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ සියලු සත්ත්වයෝ ආරක්ෂා කර ගන්නට කියායි. බෞද්ධ ආගම ඉතිරි වී අනෙක් ආගම් විනාශ වන්නට කියා උන්වහන්සේ කිසිවිටක දේශනා කර නැහැ.

අපේ රටේ මහා සංඝරත්නය අප රැකගත යුතුයි. පන්සල් පද්ධතිය සුරක්ෂා කර ගත යුතුයි. එවිටයි බුදු දහම ආරක්ෂා වන්නේ. කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා බෞද්ධ ආගම සුරක්ෂා වන්නේ නැහැ.

උපතිස්ස පෙරේරා,
මත්තල - ඩී.එන්. ජයසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon