රජයට රුපියලක් ලැබෙන විට ඉන් සත අනූවක්ම ණය ගෙවීමට වැය වෙනවා

  👤  3568 readers have read this article !
By mawbima 2018-03-14

විශ්වවිද්‍යාලවලින් පිටවන සෑම ළමයකුටම රජයේ රැකියාවක් ලබාදීමේ වගකීමක් රජයට නොමැති බව පවසන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා රජයේ වගකීම විය යුත්තේ රටේ ඉදිරි ගමනට දායක වන පරපුරක් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම යැයි සඳහන් කරයි.
ආණ්ඩුවට තිබෙන වගකීම වන්නේ හොඳ අධ්‍යාපනයක් ළමයින්ට ලබාදීමයි. නමුත් සෑම උපාධිධාරියකුටම රජයේ රැකියාවක් ලබාදිය යුතු යැයි කියන තර්කය මට පිළිගත නොහැකියි යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේද පැවැසීය.

මෙහිදී ජපානය ගැනත් අවධානය යොමු වුණා. ජපානයේ අධ්‍යාපනය ගැන විවිධ අවස්ථාවලදී සාකච්ඡා කිරීමට මට හැකියාව ලැබුණා. ලංකාවේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබෙනවා. අපිට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබුණට එයින් අපේ දරුවන්ට අවශ්‍ය වන ආර්ථික ශක්තිය රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයක් ලැබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක්. අපේ රටේ අධ්‍යාපනය ලබන ළමයින්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ සියයට දහයක වගේ පිරිසක් පමණයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වී එයින් පිටවන ළමයින්ගේ ආකල්ප ගැනත් මට තිබෙන්නේ ප්‍රශ්නයක්.

අද අපේ සමාජය යැපෙන සමාජයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ බව කියන්නේ කනගාටුවෙන් යුතුවයි. සෑම දෙයක්ම රජයෙන් යැපෙනවා. රජයෙන් සහනාධාර ගන්නවා. රජයෙන් නොමිලේ අධ්‍යාපනය ලබාගන්නවා. නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාගන්නවා. පොහොර සහනාධාරය ගන්නවා. සමෘද්ධි සහනාධාරය ගන්නවා. ඒ අතරම විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් පසුව රජයෙන් රැකියාවකුත් බලාපොරොත්තු වෙනවා. මේවා ලබාදුන්නේ නැතොත් රජයට විරුද්ධව වැඩ කරනවා. පවතින රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. රජය වෙනස් කළ යුතු යැයි කියා සිතනවා. වෙලාවට පොහොර දෙන්නේ නැතිනම් ආණ්ඩු පෙරළන්න හදනවා.

අපි ඉදිරිපත් කරන න්‍යායාත්මක තර්ක මිහිරියි. ඒවා අපි පිළිගන්නවා. ඒත් බහුතර ජනතාවක් ඉන්නේ වෙනස් මතයක. ඒ තමයි අපිට දෙන්න දෙන්න කියලා ජනතාව ඉල්ලන එක. මෙහි තිබෙන ප්‍රශ්නය වෙන්නේ කොහොමද අපි දෙන්නේ කියන එක. අපිට මුදල් අච්චු ගහන්න බැහැ. අපේ රට ණය උගුලක හිරවෙලා ඉන්නේ. රජයට රුපියල් ලැබෙන විට එයින් සත අනූවක්ම ණය ගෙවීමට වැය කරන්න වෙනවා. සමෘද්ධිය, පොහොර සහනාධාර, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සඳහා, පාරවල් හදන්න, ගම හදන්න වෙන් කරන්න තියෙන්නේ සත දහයක් විතරයි. මේ විදියට ගියොත් අපිට සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට තිබෙන සත දහයත් සත පහක් බවට පත්වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය.

දේශපාලනඥයෙක් ලෙස මේ තත්ත්වය ගැන මම දුකෙන් ඉන්නේ. මම මොන දේශපාලන පක්ෂය නියෝජනය කළත් මේක තමයි යථාර්ථය. අපිට පොඩි කාලයකට සිහින ලෝකයකට යන්න පුළුවන්. ඡන්ද කාලයේදී සිහින ලෝකයකට ගිහින් සිහින පෙන්නුවට ඉන් පසුව යථාර්ථයට මුහුණදීමට සිදුවෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හෙට රට භාරගත්තත් මේ තත්ත්වයට ඔහුට මුහුණ දෙන්න සිදුවෙනවා. මැජික්කරුවෙක් විදියට ඔහුට සල්ලි මවන්න පුළුවන්ද? මේක විසඳන්න අලුත් සමීකරණයක් අවශ්‍යයි.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon