මෙතැන තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි: දේශපාලන ප්‍රශ්නයක්

  👤  3805 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (14).jpg (600×350)

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් යම් යම් පියවර ගෙන තිබුණත්, ආර්ථික විෂය පැත්තෙන් මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා මතයක් ගොඩනැඟෙමින් තියෙනවා. එම විෂය හදාරා ඇති අයෙක් ලෙස මේ සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?

මට තේරෙන හැටියට කවුරුත් කතා කරන ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය සඳහා වැඩි බරක් දී තිබුණේ ප්‍රජාතන්ත්‍රීය ඉඩකඩ පුළුල් කිරීම කියන එකට. දූෂිතයන් අල්ලා ගැනීම දැන් කල්දැමීමේ අවශ්‍යතාවක් නැති නමුත් ඒ අවස්ථාවේ කල් දමන්න තිබුණා කියලායි මම හිතුවේ. මීට අමතරව යම් යම් ආර්ථික දේවලුත් තිබුණා. අපි උදාහරණයක් ලෙස ගතහොත් මම වැරැදියි කියලා හිතන නමුත් මහජනතාවගේ පැත්තෙන් හොඳයි කියලා හිතන රු. 10,000 දීමනාව තිබුණා ඒකේ. ඒක තමයි ආර්ථික වශයෙන් තිබුණු ප්‍රධානම දේ.

එහෙත් අගෝස්තු මාසයේ පැවැති මැතිවරණයේදී ආර්ථික විෂය පැත්තෙන් ගතහොත් සංවර්ධන උපාය මාර්ග ගැන සාකච්ඡා වුණා නේද?

ඔව්, අගෝස්තු මැතිවරණයේදී මේ ගැන පුළුල්ව සාකච්ඡා වුණා. විද්වත් සභාවේ රැස්වීමකදී මම කිව්වා, හැම මැතිවරණ ප්‍රකාශනයක්ම කියවලා තියෙන බව. ඒ විතරක් නොවෙයි ඒ අතර වැඩියෙන්ම අපේ යුගයට ගැළපෙන ආකාරයට ආර්ථිකයේ මේ මේ දේවල් කළ යුතු බව එජාපය යෝජනා කරලා තිබුණා. කෘෂිකර්මයේද අහවල් අහවල් දේ කළ යුතු බව මේ අය යෝජනා කර තිබෙනවා. එජා පක්ෂය ප්‍රමුඛ වූ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය තමයි මේ අවස්ථාවේ හොඳ එක කියලා මම එතැනදී කිව්වා.මැතිවරණ ප්‍රකාශනයේ මොනවා තිබුණත් වසර දෙකක් වෙලත් එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථිකය නැඟිට්ටවා ගන්න තවමත් හැකිවෙලා නෑ නේද?

ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා යමක් කියන්න තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ ණය හරියට වාර්තා නොවීම. මේක අලුත් කතාන්තරයක් නෙවෙයි. 2002දීත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම ගන්නකොට ආර්ථික අර්බුදයක් තිබුණා. එතකොට ඍණ වර්ධනයක් තිබුණේ. එතැනදීත් එයා කියනවා අපි දන්නේ නෑනේ ආයුධ ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා කියලා. වෙනම කොමිටියක් පත්කරලා එම්.ඩී.ඩී. පීරිස්ලා වගේ අය දාලා හෙව්වා. මේ අස්සන් කරලා තියෙන ගිවිසුම් මොනවාද කියලා. අපේ වගේ රටක ආණ්ඩුවල යම් කිසි දුර්වලතාවක් තමයි අපි හරියට ගණන් හිලව් තබා නොගැනීම. එතකොට ආණ්ඩුවකට හැමවෙලේම ඒක අවස්ථාවාදීව අපේ වරද නෙවෙයි කලින් අයගේ වරද කියලා කියන්නත් පුළුවනි. හේතුව සත්‍ය වශයෙන්ම අපි හරියට ගණන් හිලව් තියන්නේ නෑ. උදාහරණයක් හැටියට අද විගණකාධිපති කියනවා, භාණ්ඩාගාරයේ වාර්තා අවුරුදු තුනක පමණ පිළිගන්න බෑ කියලා. ඒක මේ පද්ධතිය තුළම ඔඩු දුවපු දුර්වලතාවක්. ඒ කතාන්තරේ ආවට පස්සෙ දැන් ආර්ථික ප්‍රශ්නය තව තවත් තීව්‍ර වෙනවා.

කොහොම නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලනමය පැත්තෙන් එතරම් සාර්ථක නායකයෙක් නොවුණත් හොඳ ආර්ථික කළමනාකරුවෙක් කියලා තමයි හැමදෙනාම කල්පනා කළේ. එහෙත් ඒකෙනුත් ඔහු අසමත් බව දැන් පේනවා නේද?

විශේෂයෙන් 2002 ඍණ ආර්ථික වර්ධනයක් තිබුණු තත්ත්වය තුළ 6% වගේ වර්ධනයකට හරවා ගන්නට එදා රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණා. ඒ සමඟ මේ අය හොඳ ආර්ථික කළමනාකරුවෝ කියලා යම් බලාපොරොත්තු සහගත බවක් මිනිස්සු ඇති කරගෙන තිබුණා. දැන් ප්‍රශ්නය වන්නේ අර අගෝස්තු මාසේ පනින්නට උත්සාහ කළ දෙවැනි පිම්ම පනින විට අර හදිස්සිය කියන එක කිසිසේත්ම ප්‍රදර්ශනය වුණේ නෑ. සාමාන්‍යයෙන් මතයක් තියෙනවා අලුත් නායකත්වයක් රටකට නොව සමාගමකට හෝ ලැබුණොත් පළමුවැනි දින 100 තමයි තීරණාත්මක. රනිල් 2002 පත්වෙනකොටත් පළමු දින 100ක් ගත්තා මූලික වෙනස්කම් කරන්න. 2015 අගෝස්තු මාසයේ දින 100ක් ගැන කතාවක් තිබුණේ නෑ. ඒකෙන්ම අපිට තේරෙනවා මොකක් හෝ බාලවීමක් තියෙනවා. ඒ අය අපිට කිව්වා අර දින 100 දිව්වා දැන් දින 100ක් නෑ කියලා. දැන් එතැනදී අපිට එනවා මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නෙ කියලා. ඒ කියන්නේ අපිට දෙයාකාරයක ප්‍රතිසංස්කරණ කරන්නට පුළුවන් රටක.

ඒක තමයි මොනවාහරි කරලා යම්කිසි ගුණාත්මක ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. ඒ ප්‍රතිසංස්කරණ වෙලාවේ එක එක පාර්ශ්වකරුවෝ විරුද්ධ වෙන්නටත් පුළුවන්. ඒක අර්බුදකාරී වෙන්න ඉඩත් තියෙනවා. ඒ වගේ දේවල් අර දින 100 රාමුව ඇතුළේ ජනයා අපිට වරමක් දී තිබෙනවා කියලා ඒ වරම අලුත් පිට කරලා දාන එකයි ඒකේ රහස. ඒකයි ඒ පළමුවැනි දවස් 100 ඇති වැදගත්කම. දෙවැනි දවස් 100 ඒ ගැම්ම ගන්නට අමාරුයි. ඒක මේ පාර අගෝස්තු මාසයේ කළේ නෑ. ඒක කළේ නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ කමිටු හදලා සැලසුම් හදලා, වාර්තා ලියලා බොහෝම පරිස්සමෙන් ගඩොල ගඩොල තියලා ප්‍රතිසංස්කරණ කිරීම. ඒකත් වෙනත් ක්‍රමයක්. ඒකත් සාර්ථක වෙන්න ඉඩ තියෙනවා.

හොඳයි ඔබ හිතන විදියට රට හැටියට අප ඉදිරියේ අද තියෙන කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්න මොනවාද?

අපේ තියෙන කේන්ද්‍රීය ප්‍රශ්නය තමයි අපේ අපනයන අඩු වෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. කාටත් ඒක විවේචනය කරන්න බෑ. විදේශ ආයෝජන කියන ප්‍රශ්නයට යන්නේ නැතිව, ඊට කලින් අපි පටන් ගත්තොත් අපි අපනයනය කරන්නේ නැතිව ආනයනවලින් ජීවත්වෙන රටක් වෙලා. අපිට එහෙම ඉන්න අමාරුයි. ඒක අංක එක, දෙවැනි කාරණය මිනිස්සුන්ට ඇඟට දැනෙන සංවර්ධනයක් කියන කාරණය. ඒ කියන්නේ මිනිස්සුන්ට තමන් කැමති විදියට වියදම් කරන්න පුළුවන් මුදල් තමන් අතේ වැඩිවීම. එංගල්ස්ගේ නීතිය කියලා එකක් ආර්ථික විද්‍යාවේ තියෙනවා. ෆෙඩ්රික් එංගල්ස් නෙවෙයි මෙයා වෙන එංගල්ස් කෙනෙක්. ඒක එයා නීතියක් කියලා කිව්වාට එයා නිරීක්ෂණය තුළින් දැකපු සංසිද්ධියක් මිස ඒකට හේතු ඉදිරිපත් කරන්නේ නෑ. ඒ සංසිද්ධිය මේ කාල පරිච්ඡේදයේ අපේ රටේ වෙනවා. දැන් එතැනදිත් අපි කල්පනා කරනවා මොනවටද මේවා වියදම් වෙන්නේ කියලා. ඇඟට දැනෙන සංවර්ධනයක් කියලා කියන්නේ ඔන්න ඕකට. 90 ගණන්වල සිට මේක වැඩිවේගෙන එනවා. අපි 90 ගණන්වල සිට බැලුවොත් හොඳට කනවා කියලා කෙනකුට කියන්න පුළුවන්. අපේ නිල වාර්තා අනුව විරැකියාව 4.7%යි. දිළිඳු බව 6%ක් පමණ. අපි පිළිගත්තත් නැතත් එහෙම තියෙනවා.

අපි 60%ක් පමණ ආහාර නොවන දේවලට වියදම් කරන්නේ නම් ඒ මොනවටද වියදම් කරන්නේ?

එතැනට එනවා සේවා. උදාහරණ ලෙස වන්දනාවලට සහ විනෝදාංශවලට ඒ සල්ලි වියදම් කරනවා. ඒවා ලංකාවේ 2%ක් නැත්නම් 3%ක් වගේ පොඩි ගණන් තමයි තියෙන්නේ. මම බලලා තියෙනවා වැඩියෙන්ම යන්නේ රූපලාවණ්‍ය සහ සෞඛ්‍යමය දේවල් ගැනීමට. අපි මිල වැඩි ටූත් පේස්ට් ගන්නවා. මූණේ ගාන ක්‍රීම් වර්ග ගන්නවා. මඟුල් ගෙවල්වලට යන්න කලින් රූපලාවණ්‍යාගාරවලට යනවා. ඔය සේවා සඳහා බඩු කොහෙන්ද එන්නේ. ඒවා බොහෝ දුරට පිටරටින් ආනයනය කරන බඩු. අපේ වගේ රටක ඇඟට දැනෙන සංවර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න අපි ආනයන බඩු පාවිච්චි කිරීම වැඩිවෙනවා.

ඉතින් අපේ අපනයනත් අඩුවෙලා මිස වැඩිවෙලා නෑනේ.

හොඳයි අපි බලමු මේ අපනයනවලට වුණේ මොකක්ද කියලා. ජී.එස්.පී. ප්ලස් වගේ දේවල් නැතිවීමට අමතරව වෙළෙඳ ගිවිසුම් අස්සන් කරන්නේ නැති එක නැතිනම් ප්‍රමාද කිරීම ඒකට හේතු වෙලා තියෙනවා. අපේ අපනයන ආදායමක් පේනවා නම් බොහෝවිට පේන්නේ වක්‍රාකාරවයි. අපනයන විවිධාංගිකරණය නොවීම තවත් එකක්. හැමදාම කරන ඒවා ටිකම කරන්නේ නැතිව අලුත් දේවල් අපනයනය කරනවා නම් ඒ ආර්ථිකයට ශක්තියක්. අපේ විවිධාංගීකරණයත් පසුගිය වසර දහය ‍ෙදාළහ ඇතුළත වුණේ නෑ. ඒ අනුව අපේ අපනයන පැත්තේ අර්බුදයක් තියෙනවා.

මෙයින් ඔබ කියන්න හදන්නේ මේ ආණ්ඩුවට ඒ ගැන අවබෝධයක් නෑ කියන එකද?

නෑ. මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. මට ඒක ඉතාමත් හොඳින් පැහැදිලියි. අවුරුදු දෙකහමාරක් තිස්සේ සැලසුමුත් හදනවා. දැන් සැලසුම් හදලා තියෙනවා. මැච් ගහනකොට විස්සයි විස්සේ නැති නම් පනහට පනහේ මැච් ගහන්නේ එක එක විදියකට. ටෙස්ට් මැච් ගහන්නේ තවත් විදියකට. මේක ටෙස්ට් මැච් එකක් නම් සමහර විට මේ අය දිනන්නට ඉඩ තියෙනවා. නමුත් මේක විස්සයි විස්ස නැති නම් පනහට පනහ නම් පරදින්නත් ඉඩ තියෙනවා. මොකද මේ අය දැන් හෙමින් යන්නේ. උදාහරණ ලෙස ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභ ලැබෙන්න තව වසරක්වත් යනවා. මම බලාපොරොත්තු වෙනවා ඔය කරන සැලසුම් ජීඑස්පී ප්ලස් එක, වෙළෙඳ ගිවිසුම් 3ක අස්සන් කරන එක කළාම අපිට ලැබෙනවා බිලියන 3ක මහා වෙළෙඳපොළකට ප්‍රවේශයක් ලැබෙනවා. ලෝකයේම ජනගහනය බිලියන 7යි. ඒකෙන් භාගයකට තියෙනවා අපිට ප්‍රවේශයක්. ගිවිසුම් අස්සන් කළා කියලා අපනයන වැඩි වෙන්නේ නෑ. වෙළෙඳ ගිවිසුම්වලින් අපනයනය වැඩි කිරීමේ අවස්ථාව ලබාදෙනවා පමණයි. ඔන්න ඕකයි අපිට තියෙන අභියෝගය. ඒ ඇයි කියනවා නම් ආයෝජකයන් දැන් තමයි ඒකට සූදානම් වෙන්නේ.

හරි රටක දේශපාලන පැත්තෙන් බැලුවාම ක්ෂණික ප්‍රතිඵල දෙන ආර්ථික වැඩපිළිවෙළකුත් අවශ්‍යයි නේද?

ඔව්. ක්ෂණික ප්‍රතිඵල ගන්න විධි තිබුණා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා ගුවන් සේවයේ බිලියන 30ක් තමයි අපේ තිබුණු වසරක වාර්තාගත පාඩුව. ඒ කියන්නේ අපේ බදු ගෙවන්නන්ගේ බදු මුදල්වලින් බිලියන 30ක් අපි නිකං කානුවේ පා කර ඇරියා. බදු ගෙවන ජනතාවට සෙතක් වුණෙත් නෑ. රටට සෙතක් වුණෙත් නෑ. ඒක අඩුවෙලා අඩුවෙලා මේ අලුත් කළමනාකරණය යටතේ පසුගිය වසරේත් බිලියන 27ක් පාඩුයි. ඒ අයගෙන් ඇහුවාම ඒ අය මේ බිලියන 27න් වැඩි හරියක් අපිට පාවිච්චි කරන්න බැරි ආකාරයේ ගුවන් යානා නිසා ඒවා ආපසු දෙන්න ගෙවන්න වෙලා තියෙන වන්දි නිසා තමයි මේ පාඩුව තියෙන්නේ කියලා කියන්නේ. දැන් අපි ඔතනදි අහනවා වසර දෙකහමාරක් තිස්සේ කියනවා ඔය කතාව අපිට තියෙනවා ද බලපොරොත්තුවක් ඔය අය මේක නැඟිට්ටවයි කියලා. එහෙම නැතිනම් අපිට බලාපොරොත්තුවක් තිබෙනවාද කිසිම රජයේ ව්‍යවසායන් පාඩු නොලබන ලාභ ලබන තත්ත්වයට නිෂ්චිතවම අනාගතයේ ගේන්න පුළුවන් කියලා. මට මතකයි පාඨලී චම්පික රණවක එයා එහි ඇමැති වුණාම කිව්වා මම හිටි අවුරුද්දේ පාඩුව අඩු කළා කියා. කාටවත් තේරුණේ නෑ මොකක්ද ඒ වැඩේ කියා. නමුත් විදුලිබල මණ්ඩලය දිගටම පාඩු ලබනවානේ. මේවා ඉක්මනට ලාභ ලබන ඒවා බවට පත්කරගන්න ඕනේ. නැතිනම් පෞද්ගලික අංශයට දෙන්න ඕනේ. නැතිනම් වෙන්නේ හැමදාම මහජනයාගේ බදු මුදල්වලින් මේවා නඩත්තු කරන්න.

පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමෙන් මේ ආයතන දියුණු කරන්න පුළුවන්ද?

ඒකට උදාහරණ ඕනතරම් දෙන්නම්. වරාය ගමු. ඔය. සී.අයි.සී.ටී. පර්යන්තය ඒක නොතිබ්බා නම් අද ඔය වරායේ තියෙන ධාරිතාව නැහැ. අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයා අද මහ ලොකුවට කතා කළාට හොටෙල් කෝපරේෂන් එකට අයත්ව තිබුණු ක්වීන් හෝටලය, ස්විස් හෝටලය, පොළොන්නරුවේ රෙස්ට්හවුස් එක එයා අගමැති වෙලා ඉන්න කොට පෞද්ගලික අංශයට වික්කා. ඒක කළේ යූඑන්පී ආණ්ඩුවක් යටතේ නෙවෙයි. එයා එතකොට අගමැති කියමුකෝ. එයා ජනාධිපති වුණාට පස්සේ 85%ක් චීන්නුන්ට අයිති වෙන්න බහලුම් පර්යන්තයක් දීර්ඝ කාලයකට බදු දුන්නා. ඒක නරකයි කියන එක නොවෙයි මම මේ කියන්නේ. එතකොට ඔය කියන දේශප්‍රේමීන් ඒවාට විරුද්ධ වුණේ නෑනේ. මෙතන තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නොවෙයි දේශපාලන ප්‍රශ්නයක්. යම් කිසි පද්ධතිමය හේතුවක් නිසා මේවා පාඩු ලබනවා.

පාඩුව අවම කිරීම විතරක් නොවෙයි අපි මේ පාඩුව ලබන එක නවත්වා ගතහොත් අලුත් දේවල් කරන්න, ලංකවේ ආර්ථික වර්ධනයට දායක වෙන්න මොකක් හරි ක්‍රමවේදයක් අපි හැදුවා වෙනවා.

මහින්ද රාජපක්ෂලාගේ කාලයේ ඒක පෞද්ගලීකරණය කළේ. අද වැඩිම බහාලුම් ප්‍රමාණයක් ගෙනෙන්නේ ඒකට. ඊට කලින් එස්.ඒ.ජී.ටී. පර්යන්තය චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ ඒක ජෝන් කීල්ස්ලාට දුන්නේ. ඒවා එසේ නොදුන්නා නම් අදවන විට වරාය කියන එකේ මුදල් නෑ. අද වරාය දුවන්නේ මේ දෙකෙන් ලැබෙන ලාභාංශවලින්. ජය බහාලුම් පර්යන්තය දුවන්නේ මේ ලාභවලින්. ඒ නිසා වරාය අධිකාරිය කියලා තවම පාඩු නොලබන රජයේ ආයතනයක් තියෙනවා.

අවසාන වශයෙන් ආණ්ඩුවට එරෙහිව මතුව ඇති දේශපාලනික අභියෝග සම්බන්ධයෙන් මොකක්ද කියන්න පුළුවන්?

මේ ආකාරයට මහපාරේ විරෝධතාවන් දිගින් දිගට ඇති වෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය අපිට නොගැළපෙන දෙයක් ලෙස සාමාන්‍ය ජනතාවට පෙනෙන්නට පුළුවන්. ඊළඟට එන්නෙ අපිට ඕනේ ඒකාධිපතියෙක් කියන අදහස. බලය අරන් රජ වෙන්න හිතන අයත් ඉන්නවා. ඊට පස්සේ අපි දන්නවා මොකද වෙන්නෙ කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්