බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පැරැණි ගොඩනැඟිලි කඩාදමයි

  👤  3684 readers have read this article !
By mawbima 2018-03-14

හන්තාන - චමින්ද කුමාර, හේවාහැට - අසංග චම්පික

මහනුවරට මෙන්ම ලංකාවටද කීර්තියක් ගෙන දුන් ජාතික තරුණ සේවා සභාවට අයත් බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැඟිලි කඩා දැමීම ආරම්භ කොට ඇත.

චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, ෂර්ලි වෛජයන්ත, රෝයි පීරිස් වැනි මෙරට බිහිවූ බොහෝ ශිල්පීන් පිරිසක් මෙම නිකේතනයෙන් බිහිවී ඇති අතර අදටත් එම නිකේතනයේ කලාව හදාරන සිසුහු බොහොමයක් සිටිති.
ගොඩනැඟිල්ලේ ඇති විශාල පැරැණි අකුණු සන්නායක දෙක මෙන්ම එංගලන්තයෙන් ආනයනය කරන ලද යකඩ බාල්ක 300ක් විකුණා ගැනීමේ ජාවාරමක් මෙම ගොඩනැඟිලි බිඳ දැමීම යටින් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.

බෙල්වුඩ් රූපවාහිනි ගම්මානය නමින් මුලදී ඇරැඹි මෙය පසුව බෙල්වුඩ් සංස්කෘතික නිකේතනය ලෙස වෙනස් වී සංගීත හා නර්තන ශිල්පීන් 2800කට අධික පිරිසක් රටට දායාද කර තිබේ.

බෙල්වුඩ් සංස්කෘතික නිකේතනය ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන සෞන්දර්ය පුහුණු ආයතනයයි. එය පිහිටා ඇත්තේ මහනුවර නගරයේ සිට කි.මී. 23ක් දුරින් හේවාහැට නුගලියැද්ද ගම්මානයේ බෙල්වුඩ් වතුයායේය. හන්තාන කඳු පෙළට මැදිවුණු සොඳුරු පරිසරය සෞන්දර්ය අධ්‍යාපනයට කදිම වටපිටාවකි.
අක්කර 25ක් තරුණ සේවා සභාවට ලබාගෙන බෙල්වුඩ් ගම්මානය පිහිටුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති වශයෙන් කටයුතු කළ 1980 අවධියේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon