අත්අඩංගුවට ගත් හත්දෙනා අතර පාසල් සිසුවෙක්

  👤  3054 readers have read this article !
By mawbima 2018-03-13

ආණමඩුව නගරයේ පවත්වා ගෙන යන ආපන ශාලාවකට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනකු සහ ඊට උපයෝගී කරගත් යතුරුපැදි තුනක් ආණමඩුව පොලිසිය මඟින් ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ට අඩු අය බවත් ඒ අතර 17 හැවිරිදි පාසල් සිසුවකු සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.

මෙම සැකකරුවන් ෆේස්බුක් හරහා ඒකරාශී වී ජාතිවාදය වැපිරීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සැකකරුවන් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

පසුගිය 11දා අලුයම 2.30ට පමණ යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් පෙට්රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබිණි. බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාවට බරපතළ හානිද, ඒ ආසන්නයේ යාබදව ඇති වෙළෙඳසල් දෙකකට සුළු හානිද සිදුවී ඇත.

හානියට පත්ව තිබූ ආපන ශාලාව 11දා සවස වන විට නැවත යථා තත්ත්වයට පත් කිරීමට ආණමඩුව ව්‍යාපාරික සංගමය කටයුතු කරන ලදී. ආණමඩුව නගරයේ ජනතාව සහ පොලිසියද ඒ සඳහා සහාය ලබාදී තිබේ. රාත්‍රි 9 වන විට යථා තත්ත්වයට පත් කරන ලද ආපන ශාලාව නැවත විවෘත කර ඇත.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, ඉස්ලාමීය ආගමික නායකයන්, ජල කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර, පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන යන මහත්වරුද, ආණමඩුව ව්‍යාපාරික සංගමයේ සාමාජිකයෝ සහ නගර වාසීහුද එක්ව සිටියහ.

කිසියම් පිරිසක් විසින් ජාතිවාදී ගිනිදලු ඇවිළීමේ අරමුණින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කළත් ආණමඩුව නගර වාසීන්ගේ එකමුතුකම සහ ව්‍යාපාරික සංගමයේ කැපවීම මත ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාව තිබූ තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව එහිදී ප්‍රකාශ විය. එමෙන්ම ආණමඩුව ජනතාව ලබාදුන් ආදර්ශය රටටම ඉතා වැදගත් බවද මෙහිදී ප්‍රකාශ වීම විශේෂත්වයකි.

ආගමික වතාවත්වලින් අනතුරුව ආපන ශාලාව විවෘත කර සියලුම දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.
වයඹ පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon