ජනපති ජපානයේ...

  👤  2895 readers have read this article !
By mawbima 2018-03-13

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (12දා) පෙරවරුවේ ජපානයට ළඟා විය.

දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ජපානය බලා ගමන් ඇරැඹූ අතර තෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ රජු වන අකිහිතෝ සහ මිචිකෝ කුමරිය හමුවීමට නියමිතය. ජනාධිපතිවරයාට එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හෙට (14දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කෙරේ.

එමෙන්ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය. ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන්ම ජපාන වාණිජ්‍ය මණ්ඩලය සහ ජපාන විදේශ වෙළෙඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිවරයා අපේක්ෂා කරන අතර එරට නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරතවීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon