ගාල්ල රිච්මන්ඩ් _ මහින්ද 113 වැනි ‘ආදරවන්තයින්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය 16 සහ 17 ගාල්ලේදී

  👤  2978 readers have read this article !
By mawbima 2018-03-13

ඉෂාන් රශ්මිත

දකුණු ලක ගාල්ල නගරයේ ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක් වන රිච්මන්ඩ් හා මහින්ද දෙවිදුහල් අතර වන "ආදරවන්තයින්ගේ සටන" ලෙස විරුදාවලි ලද වාර්ෂික මහා ක්‍රිකට් තරගය 113 වැනි වරටත් සිකුරාදා (16) සහ සෙනසුරාදා (17) දෙදින පුරා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රජිත් ප්‍රියාන්ගේ නායකත්වයෙන් යුතුව 2008 වසරේදී මහින්ද පිල අවසන් වරට මහා ක්‍රිකට් තරගයක ජය ලබා ඇති අතර, 2015 වසරේදී රිච්මන්ඩ් පිල සිතාර ගිම්හාන්ගේ නායකත්වයෙන් යුතුව අවසන් වරට ජය ලැබීය.
2018 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ ධනංජය ලක්ෂාන්ට ගාල්ල රිච්මන්ඩ් පිල මෙහෙයවීමේ වගකීම පැවරී ඇති අතර, උප නායකත්වය අවිඳු තීක්ෂණ වෙත පැවරී ඇත.

මෙවර මහා ක්‍රිකට් තරගයේදී මහින්ද පිලේ නායකත්වය රේෂාන් කාවින්ද වෙත පැවරී ඇති අතර, විනුර දුල්සර උප නායක ලෙස කටයුතු කරයි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කොට ඇති අතර, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, මාවන් අතපත්තු, උපුල් චන්දන, ලසිත් මාලිංග සහ තික්ෂිල ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කොට ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිලට නායකත්වය ලබාදුන් කමිඳු මෙන්ඩිස් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ශක්තියක් වන අතර, ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ නිපුන් මාලිංග සහ කේ. කේ. කෙවින් ගාල්ල මහින්ද විද්‍යාලයට ශක්තියක් වනු ඇත.

රිච්ම්න්ඩ් පිල මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදී තරග 13කට සහභාගි වී එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක, පන්නිපිටිය ධර්මපාල, මාතර ශාන්ත තෝමස්, මාතර ශාන්ත සර්වේෂස්, කොළඹ වෙස්ලි, කුරුණෑගල මලියදේව සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් යන කණ්ඩායම් වලට එරෙහිව පූර්ණ ජය ලැබූ අතර, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය හමුවේ පරාජයට පත්විය. අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
දෙදින තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලැබූ අතර, කොළඹ ශාන්ත ජෝශප් පිල හමුවේ පරාජයට පත්විය. එක්දින තරගවාරයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

මහින්ද පිල මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී තරග 17කට සහභාගි වී කොළඹ ලුම්බිණි, ක¼දාන දි මැසිනොද්, මහනුවර ශාන්ත සිල්වෙස්තර, මාතර ශාන්ත තෝමස්, කුරුණෑගල මලියදේව, පන්නිපිටිය ධර්මපාල සහ කොළඹ සහිරා යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජය ලැබීය. අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ගාල්ල මහින්ද පිල එහිදී කොළඹ මහානාම විද්‍යාලය හමුවේ ප්‍රසාද ලකුණු අනුව පරාජයට පත්විය. සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට එක්වීමට සමත් විය.

රිච්මන්ඩ් නායක ධනංජය ලක්ෂාන් එක් ශතකයක් සමඟින් ලකුණු 450 සීමාව ඉක්මවූ අතර, ආරම්භක පන්දු යවන්නා ලෙස කඩුලු 35ක් දවාලීය. උප නායක අවිඳු තීක්ෂණ ලකුණු 500 සීමාව ඉක්මවීමට සමත් වී ඇති අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 40ක් දවාලීය. පසුගිය වසරේ නායකත්වය දැරූ කමිඳු මෙන්ඩිස් තරග 7කදී ශතක 4ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවීය. කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 700 සීමාව ඉක්මවීය. මෙවර තරගවාරයේදී දස්කම් අතර සිටින සඳුන් මෙන්ඩිස්, තවීෂ අභිෂේක් සහ දිලුම් සුදීර යන ක්‍රීඩකයන් කෙරෙහි ද රිච්මන්ඩ් විද්‍යාලය වැඩි විශ්වාසයක් තබා ඇත.

මහින්ද විද්‍යාලයේ නායක රේෂාන් කාවින්ද ලකුණු 400 සීමාව ඉක්මවා සිටින අතර, උප නායක විනුර දුල්සර ලකුණු 900 සීමාව ඉක්මවමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව ඇත. නවෝද් පරණවිතාන ලකුණු 800 සීමාව ඉක්මවා සිටින අතර, කඩුලු 40ක් ද දවාලීමට සමත් විය. පසුගිය වසරේ නායකත්වය දැරූ හංසික වැළිහිඳ ලකුණු 800 සීමාව ඉක්මවීය. කවිඳු එදිරිවීර ලකුණු 800ක් සමඟින් කඩුලු 50 ඉක්මවා සිටියි. පසන් පෙතන්ගොඩ කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ නිපුන් මාලිංග සහ කේ.කේ. කෙවින් සහ ප්‍රමිත් තෙවරප්පෙරුම යන ක්‍රීඩකයන් කෙරෙහි ගාල්ල මහින්ද විද්‍යාලය ඉහළ බලාපොරොත්තු තබා ඇත.

විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ උපදෙස් පරිදි එස්.ආර්. නානායක්කාර මහතා රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය ලෙස කටයුතු කරයි. රිච්මන්ඩ් ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධම්මික සුදර්ශන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ප්‍රේම් ලක්මාල් මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි අරවින්ද රත්නායක මහතා මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය ලෙස කටයුතු කරයි. ආදි රිච්මන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයකු වන අනිල් රිදීගම්මනගෙදර මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ආදි මහින්ද ක්‍රිකට් ක්‍රීඩකයකු වන සුනෙත් කුඩාහෙට්ටි මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon