චෝදනා පත්‍රය සංශෝධනයට කර ඇති ඉල්ලීමට විත්තියේ නීතිඥ විරෝධය

  👤  3608 readers have read this article !
By mawbima 2017-07-17

කේ.එස්. උදයකුමාර්

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමැති හා වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 3 දෙනකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කර ඇති ඉල්ලීමට විත්තියේ නීතිඥවරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විරෝධය පළ කළහ.
අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන්නැයි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් ඉල්ලීම් කර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මේ අවස්ථාවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විත්තිය විරුද්ධ වන බව කියා සිටියේය. මේ හේතුවෙන් චෝදනා පත්‍රය සංශෝධනය කරන්නැයි කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 25 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ මොහොමඩ් ශකීර් යන අය නම් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්