අන්තවාදී සුළුතරය නිසා ලෝකයෙන් චෝදනා එල්ල වී ඇත්තේ සමස්ත සිංහල ජාතියටමයි

  👤  2931 readers have read this article !
By mawbima 2018-03-13

මහනුවර කලහකාරී සිද්ධියට මූලික වී ඇත්තේ රියැදුරකුට පහරදීමේ සිද්ධියක් බවත්, එම පහරදීමට සම්බන්ධ වූ තරුණයන් පිරිස වහාම නීතිය හමුවට ගෙනැවිත් ඔවුන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස තමා පොලිසියට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමින් පැවැසීය.

යුද්ධය නිසා එදා රටේ තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ වූ බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධයෙන් පසුවත් වත්මන් තරුණ පරපුරේ අනාගතය විනාශ වීමට ඉඩදිය නොහැකි බව අවධාරණය කළේය.

වැල්ලම්පිටිය, සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නව භික්ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සහ රන්වැට ස්ථාපිත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට පෙරේදා (11දා) දින සහභාගි වෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධව කරුණු සොයා බැලීමට මම එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. එම ප්‍රදේශවල හානියට පත්ව තිබෙන ස්ථානවල සංඝයාවහන්සේ, මුස්ලිම් ආගමික පූජකවරුන්, සිවිල් වැසියන් බොහෝදෙනා එක් රැස්ව සිටිනු මා දැක්කා. එම සංඝයාවහන්සේ පැමිණ තිබෙන්නේ ඇති වූ විනාශයෙන් පසු නැවතත් ජාතීන් අතර සාමය ඇති කිරීමට බව ඒ පිළිබඳ විමසීමේදී මට දැනගැනීමට හැකි වුණා. පසුගියදා අම්පාරේදී ඇති වූ ගැටලුකාරී අවස්ථාවේදීත් සංඝයාවහන්සේ සහ කතෝලික පූජකතුමන් පහරදීමට ලක්වූ මුස්ලිම් ආගමික ස්ථාන වෙත ගොස් නැවතත් සමඟිය ඇති කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා. එම නිසා පැවැති අර්බුදකාරී අවස්ථාවේදී සාමය ඇති කිරීමට සංඝරත්නයෙන් සිදුවූ සේවය අප අගය කළ යුතුයි.

නමුත් ස්වල්ප දෙනකුගේ විනාශකාරී ක්‍රියාව හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අපි ලෝකයේ වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජීවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. මැදපෙරදිග, ඉතාලිය ආදී රටවල ජීවත් වන පුද්ගලයන් මෙහි සිදුවන්නේ කුමක්දැයි මගෙන් විමසනවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳ පණිවුඩය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිරී ගොස් තිබෙනවා.
නුවර නගරය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න යැයි සංචාරක කර්මාන්තය මුල් කරගෙන ත්‍රිරෝද රථ ව්‍යාපාරයේ නිරත වන බොහෝ සිංහල පිරිස් මා සමඟ පැවැසුවා. මෙම තත්ත්වය තවදුරටත් පැවැතුණොත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වන නිසා ආදායම් නොමැතිව දින ගණනාවක් ජීවත් වන්නේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. එසේ නම් මේ හරහා විශාල පාඩුවක් සිදුවූ බව අප පිළිගත යුතුයි.

මෙම අර්බුදකාරී තත්ත්වය නුවරින් ආරම්භ වී රට පුරා පැතිරී යනු ඇතැයි බොහෝ දෙනා තුළ බියක් ඇතිව තිබුණා. එවැනි සැකයක් අප තුළත් ඇතිව තිබූ බව පැවැසිය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. එය නවත්වා ගැනීමට අපිට හැකි වුණා. ඒ සඳහා දායක වූ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සියලු පාර්ශ්වයන්ට මා ස්තුතිවන්ත වනවා.
යුද්ධය හේතුවෙන් අප වසර 30ක් එකිනෙකා සමඟ සටන් කළා. ඒ හරහා ජාතීන් අතර තිබූ සමඟිය නැතිවී ගියා. එම සමඟිය නැවත ඇති කිරීම සඳහා යුද්ධයෙන් පසුවත් අප ඒ ඒ ජාතීන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. සියල්ලට පළමුවෙන් අප ශ්‍රී ලාංකික ජාතිය බවට පත්විය යුතුයි.

සමාජ මාධ්‍ය හරහා ස්වල්ප දෙනෙක් රටට විශාල හානියක් සිදු කළා. ෆේස්බුක් ආදී සමාජජාලා භාවිත කිරීම අපිට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එය තුළින් අන්තවාදයත්, ප්‍රචණ්ඩත්වයත් පැතිරවීම විශාල ප්‍රශ්නයක්. මුස්ලිම් ආගමික ස්ථානවලට පහර දෙන්න, ගිනි තියන්න යැයි සමාජජාල ඔස්සේ පැතිර යනු අප දුටුවා. එවැනි මතවාද ව්‍යාප්ත කිරීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. පළමුව ඇති වූ සිදුවීම පිළිබඳව ක්‍රියාත්මක වීම ප්‍රමාද වූ බව අප පිළිගන්නවා. නමුත් කළ යුත්තේ ඒ වෙනුවට ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොව සිදුවීමට අදාළ පුද්ගලයන් සහ හේතුව සොයා ගැනීමයි.

යුද්ධයෙන් පසුව 2015දී යහපාලනයක් උදෙසා ජනතාව අපිට ඡන්දය ලබාදුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. එම වෙනස අපිට සම්පූර්ණයෙන්ම ලබාදීමට නොහැකි වුවත් නීතිය හා සාමය ආරක්‍ෂා කරමින් ඇති වී තිබෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විස¼දා ගමු යැයි මම රටට පැවැසීමට කැමැතියි. රටේ තරුණ තරුණියන් බලාපොරොත්තු වන සමාජ, ආර්ථික වෙනස ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වෙනවා.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon