ත්‍රිකුණාමලය පෙරියකුලම් වැවේ ගිලුණු පස් දෙනා එකම වළක මිහිදන් කෙරෙති

  👤  3085 readers have read this article !
By mawbima 2018-03-13

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය පෙරියකුලම් වැවෙහි දියෙහි ගිලී මියගිය පස් දෙනාගේ සිරුරු හින්දු ආගමික වතාවත්වලින් අනතුරුව නිලාවේලි වේලයුර් සුසාන භූමියේදී එකම වළක ඊයේ (12දා) සවස මිහිදන් කෙරිණි.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගිය දරුවන් සිවු දෙනා ඇතුළු පියාගේ දේහයන් සඳහා අවසන් ගෞරව දැක්වීමට ඇද හැලෙන මහ වැසි නොතකා ප්‍රදේශයේ දේශපාලනඥයන්, පාසල් සිසුන් මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ.
මියගිය තංග‍ෙදාරෙයි මහතා වෘත්තියෙන් රියැදුරකු වන හෙයින් ඒ මහතා සේවය කරන ත්‍රිකුණාමලය හා පුල්මුඩේ මාර්ගයේ ධාවනය වන සියලු පෞද්ගලික බස් රථ මේ හේතුවෙන් ධාවනයෙන් ඉවත්ව තිබිණි.

මෙසේ මියගියේ හතළිස් දෙහැවිරිදි ධර්මලිංගම් තංග‍ෙදාරෙයි, ඔහුගේ නව හැවිරිදි දියණිය වන තංග‍ෙදාරෙයි සගවී, මිය ගිය තංග‍ෙදාරෙයිගේ මස්සිනාගේ දරුවන් වන නව හැවිරිදි සුරේෂ් කේසී රාජ් හා හත් හැවිරිදි සුරේෂ් යුදේෂන් රාජ් සහ එම පවුලේ තවත් ඥාතියකුගේ දියණියක වන හත් හැවිරිදි සුගන්දන් පෙරනවී යන අයයි.

දේහයන් අසල හඬා වැලපෙමින් සිටි මියගිය පිරිමි දරුවන් දෙදෙනාගේ පියා වන රත්නභවන් සුරේෂ් මහතා මෙසේ පැවසීය." මහ කන්නයේ කුඹුරු කැපුවට පස්සේ අපි හැම අවුරුද්දකම අයිනාර් දෙවියන් වෙනුවෙන් වැව් තාවුල්ලේ දානයක් දෙනවා. වැව් තාවුල්ලේ පිහිටි ගල ළඟ පොංගල් පූජාව තියලා පූජාවට ඕන නෙලුම් කොළයි මලුයි කඩන්න තමයි අයියා දරුවොත් එක්ක ඔරුවෙන් වැවට ගිහින් තියෙන්නේ. කොහොම හරි ඔරුව පෙරළිලා දරුවෝ බේර ගන්න අයියා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒත් වැඩක් වුණේ නැහැ. අපිට තිබුණ ලොකුම සම්පත තමයි අපේ මේ දරුවෝ. දැන් ඒ දරුවෝ හැමෝම දෙවියන් ළඟට ගිහිල්ලා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon