පවුලේ පිරිමි ළමයින් හතර දෙනාගෙන් තුන් දෙනකුටම මාංස පේශි දියවීමේ රෝගයක්

  👤  3065 readers have read this article !
By mawbima 2018-03-13

කෑගල්ල, හෙට්ටිමුල්ල, වැවතැන්න, ගෝලින්දවත්ත රබර් වතුයායේ අංක 1 කොටසේ පදිංචිව සිටින එකම පවුලක පිරිමි දරුවන් 4 දෙනකුගෙන් දරුවන් තිදෙනකුටම මාංස පේශී අධික ලෙස දුර්වල වී යමින් පවතින බවත් ඔවුන්ගේ ජීවිත මේ වනවිට අධි අවදානමක පවතින බවත් කොළඹ ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා පෙරේදා 11දා පැවැසීය.

මෙම රෝගී පිරිමි දරුවන් තිදෙනා සොයා අප පෙරේදා (11දා) සවස ඔවුන් පදිංචිව සිටින ලැයිම් නිවාස වෙත යෑමට පිටත් වුණෙමු. කෑගල්ල, පරගම්මන හරහා අටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 5 කණුවත් 6 වැනි කණුවත් අතරින් වමට හැරී කොන්ක්‍රීට් මාර්ගය දිගේ අංක 1 කොටස වෙත යෑමට සූදානම් වුණෙමු. මීටර් 500ක් පමණ රබර් වතු යායේ කඳු මුදුන තරණය කළ අප කඳු ඉස්මත්තේ පිහිටි ලයිම් නිවාස වෙත යා හැකි විය.

අදාළ නිවෙස සොයා ගැනීමෙන් පසු දරුවන්ගේ පියා වන 55 හැවිරිදි වී. රාජගෝපාල් මහතා සිය පවුලේ දුක්බර කතාව මෙසේ අප හට ප්‍රකාශ කළේය. රාජගෝපාල් මහතාගේ බිරිය කේ. තෙයිවානිය, ඇගේ වයස අවුරුදු 47කි. මෙම දෙපළට පිළිවෙළින් වයස අවුරුදු 21,19,14 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් සිවුදෙනකු සිටිති. වැඩිමහල් පිරිමි දරුවා 21 හැවිරිදි ආර්. අරවින්දන්ය. දෙවැනි පිරිමි දරුවා 19 හැවිරිදි ආර්. නිරෝෂන්ය. තෙවැනි පිරිමි දරුවා 14 හැවිරිදි ආර්. දසුන්ය. සිවුවැනි පිරිමි දරුවා පස් හැවිරිදි ආර්. දර්ශන්ය.
රාජගෝපාල් මහතා දැනට කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ නිවෙසක මුරකරුවකු ලෙස සේවය කරන අතර බිරිය දරුවන් සමඟ නිවෙසේ පදිංචිව සිටියි. දෙවැනි පිරිමි දරුවා වන ආර්. නිරෝෂන් හැර සෙසු පිරිමි දරුවන් තිදෙනාම මාංස පේශි දුර්වල වීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙයි. වැඩිමහල් පිරිමි දරුවා වන ආර්. අරවින්දන් වයස අවුරුදු 12 සිට මෙම රෝගී තත්ත්වයට මුහුණදීමෙන් පසු රාජගෝපාල් හා තෙයිවානි කෑගල්ල මහ රෝහලෙන් දරුවාට ප්‍රතිකාර ලබාදී තිබිණි. එහෙත් වසර 09කට ආසන්න කාලයක් ප්‍රතිකාර කළද අද වනතුරු කිසිම සුවයක් දක්නට නැති අතර ඔහුව දැනට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හඳුන්වා දුන් වත්තේගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක රඳවා සිටියි. එම දරුවාට ඇවිදීමට හැකි වුවත් ඇවිදගෙන යෑමේදී බිමට ඇදවැටෙන බවත් පියා වන වී. රාජගෝපාල් මහතා කියයි.

දෙවැනි පිරිමි දරුවා ආර්. නිරෝෂන්ට දැනට කිසිම රෝගී තත්ත්වයක් නොමැති අතර ඔහු පියා සමඟ පවුල ගොඩගැනීමට එදිනෙදා ලැබෙන කුලී වැඩ කරමින් සිටියි. තෙවැනි පිරිමි දරුවා දැනට එම රෝගී තත්ත්වයෙන් පෙළෙයි. ඔහු දැනට වැවතැන්න, ගෝලින්දවත්ත දෙමළ කනිෂ්ඨ විද්‍යාලයේ 09 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන අතර සෑම දිනකම උදේ පාසල යෑමටත් පාසල නිම වී ආපසු නිවෙසට පැමිණීමටත් ත්‍රිරෝද රථයක අවශ්‍යතාවය ඇති බවත් පියා කියා සිටියි. මෙම පිරිමි දරුවාගේ උපතේ සිටම හෘද රෝගී තත්ත්වයක්ද පවතී. බාලම පිරිමි දරුවා වන ආර්. දර්ශන් උපතේ සිටම මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙයි. කෑගල්ල මහ රෝහලේ ඔහු උපත ලැබූ අවස්ථාවේදී එම දරුවාට විසබීජයක් ඇතුළු වී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් මව වන කේ. තෙයිවානි ප්‍රකාශ කරන්නීය.

මෙම දරුවන් තිදෙනාගේම ඉණෙන් පහළ අක්‍රිය වීම මූලික ලක්ෂණයක් බව කොළඹ ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා පැවැසීය. තෙවැනි පිරිමි දරුවාට ඇතිවූ හෘද රෝගී තත්ත්වයට 2016 වර්ෂයේදී ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ ළමා රෝහල වෙත රාජගෝපාල් හා තෙයිවානි ගිය අවස්ථාවේදී සෙසු වෛද්‍යවරයකුගේ මාර්ගයෙන්ම මෙම දරුවන් තිදෙනා පරීක්ෂා කිරීමේදී මාංස පේශිවල දුර්වල වීම් හඳුනාගත් බව විශේෂඥ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෙද්‍ය ෂෙහාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.

මං මේ දරුවන් සිවුදෙනාම පරීක්ෂාවට ලක් කළා. තිදෙනකුටම මාංස පේශි දුර්වල වීම ඇති බව හඳුනා ගත්තා. දෙවැනි පිරිමි දරුවාට තාම එවැනි රෝගී තත්ත්වයක් නෑ. මෙම දරුවන් තිදෙනාගේ ඉණෙන් පහළ වයස අවුරුදු 12 සිට රෝගී තත්ත්වය ආරම්භ වී තිබෙනවා. බාල පිරිමි දරුවාට උපතේ සිටම මෙම රෝගී තත්ත්වය බරපතළ ලෙස බලපාලා තියෙනවා. මෙම රෝගී තත්ත්වය එකපාරටම බලපාන්නේ නෑ. ඔවුන්ගේ වයස් සීමාවන් අනුව කාලෙන් කාලෙට රෝගී තත්ත්වය බැරෑරුම් බවට පත්වෙනවා. මා මෙවැනි රෝගී පවුලක් මාගේ වෛද්‍ය ජීවිතයේදී දැක තිබුණේ නැතැයි වෛද්‍යවරයා පැවැසීය.

රෝගී දරුවන් තිදෙනාගේ පියා වන වී. රාජගොපාල් මහතා මෙසේ පැවැසීය.
මම දැනට කොළඹ, රාජගිරිය ප්‍රදේශයේ නිවෙසක මුරකරුවකු ලෙස සේවය කරනවා. මාගේ දරුවන් සිවුදෙනාගෙන්ම තිදෙනකුටම මාංස පේශී දුර්වල වීමෙන් දරුණු රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. මමයි බිරියයි දරුවන් තිදෙනා ගොඩගැනීමට කොපමණ උත්සාහ කළත් එම උත්සාහය මේ වනවිටත් ආසාර්ථක වෙලා තියෙනවා. දරුවන් රැක බලා ගැනීමට බිරියගේ මවද අපට සහයෝගය ලබාදෙනවා. අපට රජයෙන් කියලා කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නෑ. අඩුම ගාණේ සමෘද්ධියවත් නෑ. මම මේ සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් දිසාපති කාර්යාලයටත් මැති ඇමැතිවරුන්ටත් ජනාධිපතිතුමාටත් දැන්වූවා. ඒ කිසිම තැනකින් මට මේ වනවිට සහනයක් ලැබිලා නෑ. මා කනගාටු වෙන්නේ මා යම් දිනක මිය යෑමෙන් පසු දරුවන් තිදෙනාට කුමක් සිදුවේද යන්න ගැන සිතා. ඒ නිසා මාගේ දෙවැනි පුතාටවත් රැකියාවක් ලබා ගැනීමට පරිත්‍යාගශීලී නෝනාවරුන්ගෙන් හා මහත්වරුන්ගෙන් ආධාරත්, අනෙක් දරුවන් රෝගී තත්ත්වයෙන් මුදා ගැනීමට උදවු උපකාර ලබාදෙන ලෙසත් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මට කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගී දරුවන්ට පාවිච්චි කිරීම සඳහා වැසිකිළියක් තනා දුන්නා. එදා සිට අද දක්වා ඒ වෛද්‍යවරුන් අපගේ පවුල පිළිබඳ සොයා බලා කටයුතු කරනවා යැයි රාජගෝපාල් මහතා පැවැසීය.

077-9491624 රාජගෝපාල් මහතාගේ ජංගම දුරකතන අංකයට අමතා වැඩි විස්තර ලබාගත හැකි අතර 041020043291 යන හැටන් නැෂනල් බැංකුව කෑගල්ල ශාඛාවේ රාජගෝපාල් මහතාගේ ගිණුමට පරිත්‍යාගශීලි ඔබගේ ආධාර මුදල් බැර කළ හැකි බව රාජගෝපාල් මහතා පැවැසීය.

දමුණුපොළ - චමින්ද ජයලත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon