රමිත් රඹුක්වැල්ලට ඇප

  👤  3658 readers have read this article !
By mawbima 2018-03-12

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේම ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පිස්තෝලයකින් හිසට පහරදී තුවාල කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහෙන්පිට පොලිසිය මඟින් ඉකුත් 09 වැනි දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැති මහා ක්‍රිකට් තරගයක් නරඹා නැවත නාරාහෙන්පිට, ලේක්විව් පාර ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසට යමින් සිටියදී එදින රාත්‍රි 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

නාරාහෙන්පිට දෙස සිට නාවල දෙසට ධාවනය කළ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රමිත් රඹුක්වැල්ල මහතාගේ මෝටර් රථයේ ගැටී තිබේ.
යතුරුපැදියෙහි තරුණයන් දෙදෙනකු ගමන් කර ඇති අතර එම අනතුරත් සමඟ තරුණයන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය බිම ඇදවැටී ඇත.
එම යතුරුපැදියේ සිටි තරුණයන් දෙදෙනාද විවෘත විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය පවසයි.
අනතුරුව රමිත් රඹුක්වැල්ල මහතා සහ සිසුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේ සිසුන් දෙදෙනා ඔවුන්ගේ ඉන්ජිනේරු පීඨයේම තවත් සිසුවකුට දුරකතනයෙන් කතාකර ඒ අනතුර ගැන දැනුම් දී ඇත.

ඉන්පසු අනතුර සිදුවූ ස්ථානයට ඉන්ජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන තවත් සිසුන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ තිබේ.
දෙපාර්ශ්වය අතර ඇති වූ වචන හුවමාරුව අතර රමිත් රඹුක්වැල්ල මහතා සිය මෝටර් රථය ඇතුළට ගොස් පිස්තෝලයක් ගෙන එක් සිසුවකුගේ හිසට පහරදී ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම' විමසුමකදී පැවැසීය.

ඉකුත් 09 වැනි දින රාත්‍රි 8.30ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ නාරාහෙන්පිට පොලිසියේ නිලධාරීන් රාත්‍රි 11.00ට පමණ රමිත් රඹුක්වැල්ල මහතා සිටි තට්ටු නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පහරකෑමට ලක්වූ බව සඳහන් කළ සිසුවාද කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන එම රෝහලෙන් පිටව ගොස් ඇත.
සැකකාර රමිත් රඹුක්වැල්ල නාරාහෙන්පිට පොලිසිය රැගෙන විත් එදින රාත්‍රියේම බීමතින් ඇත්දැයි සොයන පරීක්ෂාව කර ඇති බවත් එහිදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

පැමිණිල්ලේ සඳහන් සැකකාර රමිත් රඹුක්වැල්ල සතුව තිබූ බව පැවසූ පිස්තෝලය සොයා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.
පහරකෑමට ලක්වූ සිසුවා පෙරේදා (10දා) පස්වරුවේ රමිත් රඹුක්වැල්ල මහතාට විරුද්ධව දමා තිබූ පැමිණිල්ල ඉල්ලා අස් කර ගත් බවද පොලිසිය පවසයි.
එම නිසා පෙරේදා පස්වරුවේ රමිත් රඹුක්වැල්ල මහතාව පොලිස් ඇප මත නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් බීමත්ව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව යටතේ රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව හෙට (13දා) දින අලුත්කඩේ රථවාහන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

අනතුර සිදු කළ මෝටර් රථය සහ රමිත් රඹුක්වැල්ල මහතාගේ රියැදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇත.
නාරාහෙන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්ත මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon