වෙබ් මට්ටු කරන්න පොලිස් ඇමැතිගෙන් වෙන වැඩක්

  👤  3919 readers have read this article !
By mawbima 2018-03-12

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

වෙනම අංශයක් පිහිටුවා සමාජ ජාලා වෙබ් අඩවි පාලනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ මහනුවර අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳව ඉස්ලාම් ආගමික නායකයන් දැනුවත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල රැස්වීම් ශාලාවේදී ඉකුත් 10 වැනිදා පැවැති සාකච්ඡාවකදීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
පසුගියදා ඇති වූ සිද්ධීන්වලදී සමාජ මාධ්‍ය ජාලා හරහා නොයෙකුත් බොරු ප්‍රචාර පළ වුණා. ඇතැම් ජාතිවාදී කණ්ඩායම් සමාජ ශාලා වෙබ් අඩවි උපයෝගි කරගෙන විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාර කළා. ඒ පිළිබඳව රජය දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. වෙනම අංශයක් පිහිටුවා ඒ කටයුතු පාලනය කරන්න රජය කටයුතු කරනවා. මෙවැනි සිදුවීම් යළි ඇති නොවන්නට අප කටයුතු කරනවා.

එම සිදුවීමේදී ආරක්ෂක අංශ මඟින් යම් පසුබෑමක් ඇති වුණා නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් සිදු කරනවා. ඒ සඳහා පියවර ගැනීමට අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් පත් කරනවා. මෙය සැලැසුම් සහගත සිද්ධියක් නොව වාහන දෙකක් නිසා ඇති වූ සිදුවීමක්. ඉදිරියේදී මෙවන් සිද්ධියක් ඇති නොවන්න අප නීති මඟින් කටයුතු කරනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරැදිකරුවන්ට ඉදිරියේදී උපරිම දඬුවම් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ජීවිත සහ දේපළ හානි සිදු වූ අයට වන්දි ගෙවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon