මහ පාතාලයන් දෙදෙනකු බඩුත් එක්ක අල්ලයි

  👤  3631 readers have read this article !
By mawbima 2018-03-12

කොළඹ - එම්.සී. පෙරේරා, පයාගල - සුජිත් මාරියෝ

පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු පයාගල ලැගුම්හලක් අසලදී ගිනිඅවි දෙකක් හා උණ්ඩ තොගයක් සමඟ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින්
අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබූ ගමන් මල්ලේ සඟවා ගෙන සිටි ජංගම දුරකතන 10ක්, සිම් කාඩ්පත් 24ක්, ටී 56 උණ්ඩ 9ක්, රුසියාවේ නිෂ්පාදිත ස්මාර්ට් වර්ගයේ ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 50ක්, වෙනත් පුද්ගලයකුගේ ඡායාරූප යොදා සකස් කළ ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකටයුතු පුද්ගලයකු පයාගල ලැගුම්හලක් අසල සිටින බවට කළුතර දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකකාර පාතාල සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා එංගලන්තයේ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් උපාධිය ලබා ඇති පුද්ගලයකු බව පොලිසිය කියයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් නමැත්තාගේ උපදෙස් මත මහර ප්‍රදේශයේ කොල්ලකෑම් කිහිපයක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බවත් එම අපරාධ සඳහා යොදා ගැනීමට මෙම ගිනිඅවි වෙනත් පුද්ගලයකු අතට පත් කිරීම සඳහා රැඳී සිටි බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
සැකකරු ප්‍රබල පාතාල නායකයකු වන ඝාතනයට ලක්වූ සූරියවැව රත්නවීර නමැත්තාගේ සමීපතම ඥාති පුත්‍රයකු බවද පොලිසිය කියයි. කොල්ලකෑම් හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ නඩු ගණනාවක් ඇති මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු තවත් සැකකරුවකු මාතරදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් උකස් මධ්‍යස්ථානයක්, ස්වර්ණාභරණ අලෙවිසලක් හා මාළු ව්‍යාපාරිකයකුගේ නිවෙසක් කොල්ල කෑම සඳහා සැලසුම් කර ඒ සඳහා යමින් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පයාගල පොලිසියට භාරදී ඇති අතර ඔවුන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිනි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ.පී. කරුණාරත්න, සැරයන් ජයන්ත (17668), පො.කො. වරුන් වන ගුණවර්ධන (44817), ජයරත්න (79325), ජගත් (41055), රාජකරුණා (60030), මලින්ද (908), ගයාන් (76034) හා පොලිස් රියැදුරු තිලකරත්න (80621) යන මහත්වරුන් මෙම මෙහෙයුමට සහභාගි වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon