මහනුවර ආරක්ෂාවට හමුදාවෙන් 4000ක්

  👤  3711 readers have read this article !
By mawbima 2018-03-12

චාමර අමරසූරිය

මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගත් කලහකාරී වාතාවරණය පහව ගිය ද එම දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව සඳහා යුද හමුදා සාමාජිකයන්......4000ක් පමණ යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා "මව්බිම"ට පැවැසීය.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදා ආරක්‍ෂාව මෙලෙස තවදුරටත් යෙදවීමට කටයුතු කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් එම ප්‍රදේශයේ ආරක්‍ෂාවට යොදවා තිබූ භට පිරිස් ප්‍රවාහන සන්නද්ධ රථ පමණක් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව ද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමුණු පාසල් අද (12දා) දින යළි විවෘත කෙරේ.
එම ප්‍රදේශයේ ජනතාව එදිනෙදා කටයුතු සාමාන්‍ය ලෙස මේ වන විට පවත්වාගෙන යන බවත් වසා දමා තිබූ වෙළෙඳසල්, පෞද්ගලික ආයතන යළි විවෘත කර ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

පූජනීය ස්ථානවලද පුද පූජා හා ආගමික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා "මව්බිම"ට සඳහන් කළේය.
අලාභහානි වූ දේපළ සම්බන්ධයෙන් තක්සේරු කටයුතු රජය විසින් මේ වන විට අරඹා ඇති බවත් එම තක්සේරු කටයුතුවලට යුද හමුදා සෙබළුන්ගේ සහාය ලබා දී ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

අලාභහානි වූ පූජනීය ස්ථාන, රාජ්‍ය ආයතන, නිවාස, වෙළෙඳ ස්ථාන යළි පිළිසකර කිරීම ස¼දහා ඉදිරියේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මහනුවර හට ගත් උණුසුම්කාරී තත්ත්වයත් සමඟ නිල සංචාරය අතර මැද ඉකුත් 07 වැනිදා මෙරටට පැමිණියේය.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගියදා ඇති වූ කලහකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 180 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට ඊයේ (11දා) පැවැසීය.

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් පිරිමි පුද්ගලයන් බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.
එසේම මෙම කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු අරඹා ඇති බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

එසේම දිවයිනේ වෙනස් ප්‍රදේශවලින් කලහකාරී ගැටුම් ඇති කර ගත් සැකකරුවන් 69 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම දිස්ත්‍රික්කයට යළි ඇඳිරි නීතිය නොපැනවීමට තීරණය කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon