139 වැනි හමුවත් විසඳුමකින් තොරයි

  👤  3522 readers have read this article !
By mawbima 2018-03-12

ඉෂාන් රශ්මිත

"ඩී. එස්. සේනානායක කුසලාන" වෙනුවෙන් කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර 139 වැනි "නිල් මහ සටන" වාර්ෂික මහ ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මෙවරත් ජය පැරදුමෙන් තොරව ඊයේ (11දා) අවසන් විය.

තරගයේ පළමු දිනය වූ සිකුරාදා (9දා) කාසියේ වාසිය දිනාගත් රාජකීය පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් පිල තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 166ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවූ අතර, ඊට පිළිතුරු ලෙස රාජකීය පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 178ක් රැස් කළේය.
ප්‍රතිවාදී රාජකීය පිලට වඩා ලකුණු 12ක් පසුපසින් සිට තම දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත තෝමස් පිල කඩුලු 6කට ලකුණු 227ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවූයේ රාජකීය පිලට ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

පන්දුවාර 48කදී ලකුණු 216ක ඉලක්කයක් හඹාගිය රාජකීය පිල ඊයේ සවස අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 42කදී කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කළේය. ශාන්ත තෝමස් පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වුණු සිතාර හපුහින්න ලකුණු 34ක් රැස් කළ අතර, ලකුණු 166කට සීමා කිරීමේදී පන්දුවෙන් දස්කම් දැක්වූ රාජකීය පිලේ වමත් පා දඟ පන්දු යවන මනුල පෙරේරා ලකුණ 43ට කඩුලු 5ක් බිඳ හෙළීය.

රාජකීය පළමු ඉනිම වෙනුවෙන් නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 46ක් රැස් කළ අතර, කවිඳු මදාරසිංහ ලකුණු37ක් රැස් කළේය. නායක පසිඳු සූරියබණ්ඩාර සහ උප නායක කවිඳු මදාරසිංහ තම සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ශාන්ත තෝමස් පිල වෙනුවෙන් පන්දුවෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ වමත් වේගපන්දු යවන කලණ පෙරේරා ලකුණු 56ට කඩුලු 5ක් බිඳ හෙළුෑ අතර, නායක ඩිලොන් පීරිස් ලකුණු 40ට කඩුලු 4ක් බිඳ හෙළීය.

ශාන්ත තෝමස් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ උප නායක දුලිත් ගුණරත්න පන්දු 139කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් රැස් කළ අතර, තරගයේ පළමු අර්ධ ශතකයට හිමිකම් කී ශලීන් ද මෙල් ලකුණු 57ක් රැස් කළේ පන්දු 138කදී හතරේ පහර 5ක් සමඟිනි. ආරම්භක පිතිකරුවන් වූ දුලිත් ගුණරත්න සහ ශලින් ද මෙල් තම දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ශාන්ත තෝමස් පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභී පිතිකරු සිතාර හපුහින්න දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 47ක් රැස් කළේ පන්දු 42කදීය. මනුල පෙරේරා ලකුණු 45කට කඩුලු 2ක් දවාලීය.

රාජකීය දෙවැනි ඉනිම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත් කළ උප නායක කවිඳු මදාරසිංහ පන්දු 86කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 58ක් රැස් කළේය. කවිඳු මදාරසිංහ සහ තෙවිඳු සේනාරත්න තම ඉනිමේ 6වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ඩිලොන් පීරිස් ලකුණු 50ට කඩුලු 3ක් දවාලීය.

ශාන්ත තෝමස්: පළමු ඉනිම - 166/9 (පන්දුවාර 64.3) සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, දුලිත් ගුණරත්න 16, ශලින් ද මෙල් 15, කිෂාන් මුණසිංහ 13, කලණ පෙරේරා 13, මනීෂ රූපසිංහ 13, ඩිලොන් පීරිස් 12, මනුල පෙරේරා 43/5
රාජකිය: පළමු ඉනිම _ 178

(පන්දුවාර 75) පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදාරසිංහ 37, ඩිමාල් විජේසේකර 23, තෙවිඳු සේනාරත්න 13, ළහිරු මදුසංක 12, කවිඳු පතිරත්න 11, කලණ පෙරේරා 56/5, ඩිලොන් පීරිස් 40/4
ශාන්ත තෝමස්: දෙවැනි ඉනිම - 227/6 (පන්දුවාර 61) දුලිත් ගුණරත්න 59, ශලින් ද මෙල් 57, සිතාර හපුහින්න 47, මන්තිල විජේරත්න 19, ඩිලොන් පීරිස් නොදැවී 14, කලණ පෙරේරා 10, මනීෂ රූපසිංහ 10, මනුල පෙරේරා 45/2

රාජකිය: දෙවැනි ඉනිම _ 143/6 (පන්දුවාර 42) කවිඳු මදාරසිංහ නොදැවී 58, තෙවිඳු සේනාරත්න 24, කමිල් මිෂාර 22, භාග්‍ය දිසානායක 18, ඩිලොන් පීරිස් 50/4

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon