හතුරුගේ පැරැණි ගෝලයන්ගෙන් අලුත් ගෝලයන්ට තර්ජන

  👤  3746 readers have read this article !
By mawbima 2018-03-12

මුෂ්ෆිකර් රහීම්ගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වාර්තා වූ විස්සයි - 20 තරගයක වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ද වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන්
ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 215ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ තමීම් ඉක්බාල් සහ ලිතන් දාස් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලිතන් දාස් ලකුණු 43කට දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි සෞම්‍ය සර්කාර් සහ තමීම් ඉක්බාල් බංග්ලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණු 26ක් එක් කරද්දී තිසර පෙරේරාගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 47ක් ලබා සිටි තමීම් දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව 100ක් ලෙස සටහන් විය.

එම දැවී යෑමෙන් පසුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් තම හොඳම විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 72ක් ලබාගෙන බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම හා පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැතිණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 56ක් එක් කළ අතර පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලකගේ දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහරදීමට පිවියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක් එක් කරමින් සිටියදී ලකුණු 57ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් මහමුදුල්ලාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉක්මනින්ම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවද ඉනිමේ අවසාන භාගයේදී කුසල් ජනිත්ට එක්වූ උපුල් තරංග නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් ජනිත්, පන්දු 48කට මුහුණදෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය. එහිදී මුෂ්ටෆිසුර් රෙහෙමාන් ලකුණු 48කට කඩුලු 3ක් සහ මහමුදුල්ලා ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ.

මේ අතර නොදැවී ලකුණු 72ක් ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මුෂ්ෆිකර් රහීම් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. තවද බංග්ලාදේශය විස්සයි - 20 තරගයක හඹා ගොස් ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙන්ම විස්සයි - 20 තරග ඉතිහාසයේ 4 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ලබාගත් ජයග්‍රහණය ලෙසද මෙම තරගය වාර්තා අතරට එක් විණි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන
ශ්‍රී ලංකා - ඉන්දියා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ඉදිරිය වාසි දායකය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon