අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ගැන ජනතාවට නිවැරැදි පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යයි

  👤  3620 readers have read this article !
By mawbima 2018-03-12

ලක්ෂ්මී ජයකොඩි

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පනත සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.
මේ රටේ සෑම අංශයක්ම මේ වන විට පිරිහෙමින් තිබෙනවා. එසේම ජනතාව හා ජාතීන් අතර ඇති විශ්වාසයද ටිකෙන් ටික පලුදු වෙමින් තිබෙනවා. ආර්ථිකය සීග්‍ර කඩා වැටීමකට ලක්ව තිබෙනවා. කොහේ බැලුවත් උද්ඝෝෂණ සත්‍යග්‍රහ මේ ආදී විරෝධතා ව්‍යාපාර දකින්නට පුළුවන්. ඊට සමගාමීව නීතිය විසින්ම නීතිය කඩ කරනු ලබන අවස්ථා ප්‍රචණ්ඩතාවන් දක්නට පුළුවන්.

මහජන නියෝජිතයන් වන අප මහජනතාවගේම සුබසිද්ධිය උදෙසා විවිධ නීති සම්මත කර ගන්නවා. එහෙත් ඒ පිළිබඳව ජනතාව නිසියාකාරව දැනුවත් කරන්නේ නැත්තේ ඇයිද යන්න ගැටලුව මා හටද මතුව තිබෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා වීම සඳහා වන ප්‍රඥප්තිය ප්‍රකාරව මෙරට ස්ථාපිත කරනු ලැබූ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය ක්‍රියාත්මක වනු ඇතිද එසේ නැති නම් අතුරුදන් වූවන් පිළිබඳව වෙනත් සෙවීමක් සිදුවනු ඇතිද මෙය ජනතාවට මහත් ගැටලුවක් වී තිබෙනවා.
මෙරට ස්ථාපිත අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මඟින් මේ කාර්යාලය ස්ථාපිත කරනු ලැබූ දිනයේ සිට අනාගත කාලයට බලපාන පරිදි සෙවීම සිදුවනු ඇතිද එසේ නොමැති නම් මේ කාර්යාලය ස්ථාපිත කිරීමට පෙර සිදුවූ සිදුවීම් පිළිබඳව සොයාබලනු ඇතිද මේ කාර්යාලය පිහිටුවීමට පෙර අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බලයි නම් ඒ කෙදිනක සිටද? මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනතාව හා සාකච්ඡා කොට ජනතාවට යම් පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍ය බව මාගේ හැඟීමයි. මෙවැනි කිසිදු පැහැදිලි කිරීමක් නොමැති වීමත් විවිධ පුද්ගලයන් විසින් විවිධ ප්‍රකාශ සිදු කිරීමත් හේතුවෙන් අප ජනතාව අතර අනවශ්‍ය යම් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
පශ්චාත් යුද සමය යනු අප ජාතීන් අතර විරසක වීම් තුරන් කොට ජාතික සමඟිය ගොඩනැඟිය යුතු කාලයක් විය යුතුයි. තිරසාර සංවර්ධනයක් කරා රට රැගෙන යා හැක්කේ එමඟින් පමණයි.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳව අප ජනතාවට පැහැදිලි කළ යුතු බව මම අවධාරණය කරනු ලබන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විධිමත් කතිකාවතක් නොමැතිවීම නිසයි ඊට ඇතැම් පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචනයක් එල්ලවීම සිදුව ඇත්තේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon