සෙස්සන් තමන්ට යටත්ව සිටිය යුතු යැයි සිතන පටු මානසිකත්වය මහනුවර සිද්ධියට ප්‍රධාන හේතුවයි

  👤  3636 readers have read this article !
By mawbima 2018-03-12

තමන් ඉතා සුවිශේෂී පිරිසක් බවත් සෙස්සන් තමන්ට යටත්ව ජීවත්විය යුතු යැයි මානසිකත්වයක් ඇතැමුන් තුළ තිබීම මහනුවර තෙල්දෙණිය හා අම්පාර ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීමට බලපෑ බවත්, ඒ පටු මානසික තත්ත්වය මුලිනුපුටා දැමිය යුතු බවත් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් අවධාරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද පැවැසීය.

''දින කිහිපයකට පෙර අම්පාරේදීද පසුගිය දින මහනුවරදීද සිද්ධීන් 2ක් ඇති වී තිබේ. ආපන ශාලාවක ආහාරයක තිබූ දෙයක් හේතු කොට ගෙන ඇති වූ සැකයක් මත, අම්පාරේ සිද්ධිය ඇති වුණා. යම් ප්‍රශ්නයක් එම ආපන ශාලාව තුළ සිදුවී ඇත්නම්, ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු පියවරක් ගත යුතුව ඇතැයි මම සිතතවා. එහෙත් නීතියට අනුව එවැනි පියවරක් ගැනීම වෙනුවට සිදුවූයේ ජාතියකට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමයි.

හෝටලය විනාශ කළා. මුස්ලිම් දේවස්ථානයකට හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අලාභ හානි සිදු කළා. මෙම ක්‍රියාවන් සඳහා විශාල කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා. මෝටර් බයිසිකල් විශාල සංඛ්‍යාවකින් හා බස් රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් ඔවුන් මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතර වුණා. පොලිස් ස්ථානයද නුදුරින් පිහිටා තිබියදී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කිසිදු බාධාවකින් තොරව මේ පුද්ගලයන්ට මේ සියලු ක්‍රියාවන් සිදුකර එම ප්‍රදේශයෙන් පලා යෑමටද හැකිවී ඇති බව පෙනී යනවා.
දිගන ප්‍රදේශයේදී සිදුවූ සුළු සිද්ධියකට වාහනයක රියැදුරාට දරුණු ලෙස පහරදී තිබෙනවා. එලෙස පහරකෑ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී මරුමුවට පත් වුණා. සිංහල බහුතරයට අයත් එම තරුණයාගේ මරණය හේතු කොට ගෙන මුස්ලිම් ජාතිකයන්ගේ කඩ සාප්පු විශාල සංඛ්‍යාවකට, ඉස්ලාම් දේවස්ථාන හතරකට, නිවාස විශාල සංඛ්‍යාවට සිංහල පිරිසක් පහරදී තිබෙනවා. මින් මුස්ලිම් ජාතිකයන්ගේ දේපොළවලට බරපතළ හානි සිදු වෙලා. ගිනි තැබූ නිවෙසක සිරවූ පුද්ගලයකු මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබුණා.

අතීතයේදී මෙවැනි සිදුවීම් ඇති වුණා. එහෙත් මේ වනවිට, විශේෂයෙන්ම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව, එවැනි සිද්ධීන් පිළිබඳව ඇසීමට ලැබුණේ නෑ.
දඬුවම්වලට යටත් නොවී සිටිය හැකි බවට හැඟීමක් තිබෙනවා. තමන්ට එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර, බේරී සිටිය හැකි බවටත්, නීතියේ ආධිපත්‍ය තමන්ට අදාළ නොවනු ඇති බවටත්, නීතියේ පාලනය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇති බවටත්, විශ්වාසයක් ජනතාව තුළ ගෙඩනැඟී ඇති බව පෙනී යනවා. ගත යුතු ක්‍රියාමාර්ග ගැටුම අවසන් වීමෙන් පසුව ගැනීම ප්‍රමාණවත් නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන්ද සැකයක් ඇතිවී තිබෙනවා.

නීතියේ පාලනය අධීක්‍ෂණය නොකිරීම තුළින් සිදුවිය හැක්කේ පාලනය ව්‍යාකූල වීම පමණි. මධ්‍යස්ථ නොවූ කිසිදු කරුණක් ඉදිරිපත් කරමින් මේ තත්ත්වය තවත් උග්‍ර කිරීමට මම උත්සාහ කරන්නේ නෑ. එහෙත්, වරින්වර, නිරතුරුවම සිදුවන එවැනි සිදුවීම්වලින් ගම්‍ය වන්නේ නීතියේ හා සාමයේ පවතින සැබෑ තත්ත්වයද, නැතහොත් එහි වෙනත් ගැඹුරු පැතිකඩක් තිබේද යන පැනය නැඟීමට මට අවශ්‍යව තිබෙනවා. ගැඹුරු පැතිකඩක් වශයෙන් ගත් කල, රජයට කොතරම් ප්‍රමාණයක කාර්යභාරයක් හා වගකීමක් පැවරී තිබේද? මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සැලකේද? රජයේ වත්මන් ව්‍යුහය යටතේ, සමානාත්මතාව පදනම් කර ගනිමින් සියලු දෙනාටම යුක්තිය ඉටු වේද? වත්මන් ආණ්ඩුව ගොඩනැඟී ඇති ආකාරයට විවිධ ප්‍රජාවන්ට අයත් විවිධ පුරවැසියන්ගේ හැසිරීම සඳහා මේ රටේ පාලන ව්‍යුහය තුළින් බලපෑමක් ඇති නොකරයිද?

කිසියම් ප්‍රජාවකට අයත් ජන කණ්ඩායමක් තුළ, තමන් උසස් බවටත්, අනෙකුත් අය පහත් බවටත්, තමන්ට ඉහළ පුරවැසියන් ලෙස සැලකිය යුතු අතර අනෙකුත් අයට දෙවැනි පෙළ පුරවැසියන් ලෙස සැලකිය යුතුය යන සිතිවිල්ල ඇතිවී තිබේද? මේ හැඟීමට හේතුව කුමක්ද? එය මේ රටේ පාලන ව්‍යුහය හා රාජ්‍යයේ ස්වභාවය තුළ පවතින ලක්‍ෂණයක් නොවන්නේද?

කළයුතු දෙය සුදුසු අවස්ථාවේදී සිදු නොකිරීමෙන් මේ තත්ත්වය උදා කර ගෙන ඇත්තේ අප විසින්මය. සිදු කළ යුතුව තිබූ දෙය සුදුසු අවස්ථාවේදීම ඉටුකර තිබුණේ නම්, මේ රටට මෙවැනි තත්ත්වයන් උදා වන්නේ නෑ.

 ලක්‍ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon