අලුත්ගම සිද්ධියේදී ජනතාව රැවැට්ටුවත් මේ වාරේ ඔවුන් රැවැටෙන්නේ නෑ

  👤  3771 readers have read this article !
By mawbima 2018-03-12

නීතිය හා සාමය ඇමැතිකම ලබාදී ඇත්තේ ජේ‍යෂ්ඨ සාමකාමී ඇමැතිවරයකුට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවරදී පැවැසීය.
රට තුළ ඇති වී ඇති නොසන්සුන්භාවය පිළිබඳව මල්වතු - අස්ගිරි පාර්ශ්වවල අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත් අන්‍යාගමික පූජකවරුන් ඇතුළු සියලු දෙනා සමඟ මහනුවරදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

අද සියලුම ආගමික පූජකතුමන්ලා හමු වී රටේ උද්ගත වී ඇති ආරවුල් තත්ත්වය සමථයකට පත් කරගන්නා ආකාරය පිළිබඳව මැදිහත්කරුවකු ලෙස සාකච්ඡා කළා. මේ අවස්ථාවේ සියලුම ජනතාව ඉවසීමෙන් ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. නීතිය කියන්නේ ආණ්ඩුවයි. ඒ නිසා ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. මූලික වරද තමයි පහරදීමට ලක්වූ ලොරි රියැදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටින විට අත්අඩංගුවට ගත් පහරදුන්් සිවු දෙනාට ඇප දීමයි. ඒ හරහා වෙන මතයක් රටට ගියා. ඔවුන් යළි අත්අඩංගුවට ගත්තේ ඔහු මිය ගියාට පසුවයි.

මම ඇවිත් කරන්නේ ආණ්ඩුව කළ යුතු කාර්යයක්. ජනතාව මගෙන් ඉල්ලීමක් කළා මේ තත්ත්වය සමථයකට පත් කරන්න මැදිහත් වෙන්න කියලා. ඒ නිසයි මේ දෙපිරිස ගෙනත් සාකච්ඡා කළේ. මේ ආණ්ඩුව හැම අවස්ථාවේදීම කළේ කාටහරි චෝදනා කරන එකයි. එයාලගේ අඩුපාඩු වහගන්න සෑම වෙලාවෙම ඒකාබද්ධ විපක්ෂයට චෝදනා එල්ල කරනවා. ඒක අද එයාලා ලස්සනට කරනවා. මේවා තුළින් තමයි ජනතාව කුලප්පු වෙන්නේ. අනවශ්‍ය දේ ප්‍රකාශ කිරීමෙන් තව තවත් අවුල් කරන්නයි මේ අය හදන්නේ. එයාලා ඒ මගේ පාලන කාලයේ සිදු වූ අලුත්ගම සිද්ධියේදී ඔය වැඩේම කළා. දැන් මේ සිද්ධියත් ඒ ආකාරයටම සිදු කළා. හැමදාම මිනිසුන් රවට්ටන්න බැහැ. එකපාරක් රැවටෙයි. දෙපාරක් රැවටෙයි. නමුත් හැමදාම රවට්ටන්න බැහැ. මේ අවස්ථාවේ සියලු ජාතීන් සාමයෙන් සමඟියෙන් කටයුතු කිරීම සියලු ජාතීන්ගේ වගකීමක්.
නීතිය හා සාමය ලබාදී තිබෙන්නේ ජේ‍යෂ්ඨ සාමකාමී ඇමැතිවරයකුටයි. ඒ නිසා නීතිය හා සාමය ඇති කරන්න නිසි ලෙස කටයුතු කළොත් ඉතා හොඳයි. නමුත් අපි ඇමැතිවරයා ක්‍රියාත්මක වන ආකාරය ගැන බලා සිටිනවා.

 මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon