ජාතිවාදයේ රෝග නිදානය සොයා එය නැති කළ යුතුයි

  👤  3525 readers have read this article !
By mawbima 2018-03-12

රට තුළ ජාතිවාදයක් යළි ඇති නොවන්නට ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවත් අන්තගාමීන්ට ඒ සඳහා ඇති නිධාන සොයා බලා එය නැති කළයුතු බවත් මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවැසූහ.
කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු සියලු පක්‍ෂවල පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් රැසක් පසුගිය 10 වැනිදා මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන රටේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේය.
එහිදී මහා නාහිමියෝ මෙසේද පැවැසූහ.

''මෙරට කළු ජූලිය ඇතිවූ පසු වසර තිහක යුද්ධය අවසන් වී වසර දහයක් යන්නත් පෙර නැවත තවත් ජාතිවාදයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ නිසා නැවත ජාතිවාදයක් මේ රට තුළ ඇති නොවන්නට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. නැතිනම් කිසිදිනෙක අපේ රටේ දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ. අප නිදහස ලබා වසර හැත්තෑවක් ගත වෙනවා. අපේ ගම්වලට මොකද වෙලා තියෙන්නේ. පසුගිය කාලේ නියඟයෙන් වගා විනාශ වුණා. තවමත් ඒ ගොවි ජනතාවට සහනයක් නෑ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් යළි ඇති නොවෙන්නට සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. අප සෑම ගමකට දායක ගමක් ඇති කර ගමේදී ඒ අය හදාගන්න හැකි වන ආකාරයේ ආදර්ශයක් රිදී විහාරයෙන් දියත් කර තිබෙනවා.

රටක මෙවන් ගැටලු ඇති වන්නේ අන්තවාදී පිරිස් ඉන්නා නිසයි. අන්තවාදීන්ගේ මේ ජාතිවාදී කටයුතු නිසා මෙරටට විදේශ සංචාරකයන් සහ ආයෝජකයන් පැමිණෙන්නේ නෑ. එවිට රටට ලැබෙන විදේශ විනිමය නැතිව යනවා. මහසෝන් බළකායේ අයට විශාල බෝඩ් දාලා මේ සංවිධාන සහ කාර්යාල පවත්වාගෙන යන්න පුළුවන්ද. අන්තගාමීන් ඉන්නවා නම් ඒ සඳහා ඇති නිධාන නැති කළ යුතුයි. මේ රටේ සියලු යුද, ගුවන්, නාවික, විශේෂ කාර්ය බළකාය, පොලිසිය වැනි රජයේ ආයතන තියෙනවා නම් තවත් බළකායන් මොකටද, මෙහෙම කාර්යාල දාන්න ඇති නීතිමය අවසරය කුමක්ද?''

කතානායක කරු ජයසූරිය,
''අද පාර්ලිමේන්තුව නියෝජනය සියලු දේශපාලන පක්‍ෂවල අය මේ අවස්ථාවට එක් වුණා. අපි සියලුදෙනා දැනට රටේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළා. එහිදී රට තුළ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව ඔබ වහන්සේලා බැහැදැක කරුණු පැහැදිලි කරන්න අප තීරණය කළා. එමෙන්ම අනෙකුත් පූජකතුමන්ලා සහ සියලුම විපතට පත් ජනතාව මුණගැසී ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්නත්, ඉතිහාසයේ කිසි දිනෙක මේ ආකාරයේ දෙයක් සිදු නොවෙන්න වග බලා ගන්න කටයුතු කිරීමට අප තීරණය කළා. සියලු ගින්දර නිවා දමා යළි ඒ ගිනි පුපුරු ඇවිළෙන්නේ නැති වෙන්න අප වැඩ කළ යුතුයි. එය පක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනාම ඒකමතිකව තීරණය කළා. අප අතර මොන දේශපාලන මතභේද තිබුණත් අප මෙය එක හ¾ඩින් කළ යුතුයි. ඒ බිදුණු හදවත් අප යළි සුවපත් කළ යුතුයි. මෙය අන්තර්ජාතික වශයෙන් විශාල කැළලක් බවට පත්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අප හමුවුණා. එතුමා කීවා මේ රටට පැමිණි කෙනෙක් නැවත යන්නේ මහා කනගාටුවකින් කියලා. අප සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් කරා ළඟා වුණා.

මාලදිවයිනේ ප්‍රශ්නය නිසා විශාල ලෙස අප රටට විදේශිකයන් ආවා. දැන් එය නතරවී තිබෙනවා. අද මේ රටට ඩොලර් බිලියන ගණන් ආයෝජනය කිරීමට පැමිණි අය යළි මේ රටින් පිටව යන්න යනවා. අප රටේ ජනවාර්ගික ගැටුම් නිසා මැදපෙරදිග සේවය කරන අපේ අයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී රටක් කියන මතය අද වෙනස් වෙමින් යනවා.

අතීතයේ සිංහල රජවරුන්ට බෙහෙත් කළේ මුස්ලිම් වෛද්‍යවරුන්. අපි හොඳින් ඉතිහාසය හදාරා තිබෙනවා. බුදුන් වහන්සේ ජාතිවාදය දේශනා කළේ නෑ. ජාතිවාදය සහ අන්තවාදය නිසා මේ රටට විශාල විපතක් සිදුව තිබෙනවා. මේ අවස්ථාවේදී මුස්ලිම් ජනතාවත් කලබල නොවී කටයුතු කළා. නැතිනම් මේ ව්‍යසනය රට පුරා පැතිර යන්න තිබුණා. කිහිප දෙනෙක් කඩාකප්පල්කාරී කටයුතු කළේ. මේ සිද්ධියට ඉදිරියට ආවේ ගම්වල අය නොවෙයි පිට ඉඳන් සැලසුම් කර සිදුකළ දෙයක් බව දැන් අපිට තහවුරු වෙමින් තිබෙනවා''

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත,
''අපේ ගම්වල ශාසනාරක්‍ෂක මණ්ඩල සහ අනෙකුත් ආගමික ප්‍රසාදීන් සමඟ සාකච්ඡා කර ඒ වැඩ කටයුතු කරනවා. නමුත් එය අඛණ්ඩව ඉදිරියටම ගෙන යන්න වෙනවා''
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල,

''ලාංකික අය සියලු දෙනා කල්පනා කරනවා සංස්කෘතික වශයෙන් ඇයි මෙහෙම වෙන්නේ කියලා. අන්තවාදීන්ටත් ජනතාව අවුස්සන්න හැකි වෙන්නේ ඒ සඳහා ඉඩකඩක් තිබුණොත් පමණයි. ඒ නිසා ඒ අයට ඒ ඉඩ නොලැබෙන්න අප කටයුතු කළ යුතුයි''
අමාත්‍ය මනෝ ගනේෂන්,

''අප ඉදිරියට යන්න එක් අඩියක් ගෙන යනවිට කවුරුත් හෝ අඩි දෙකක් අපව ආපස්සට අදිනවා. මේ රටේ ජාතීන් අතර ඇතිවූ ගැටුමෙන් අප රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වෙනවා''

 මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon