මහනුවර සිද්ධියට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා

  👤  3598 readers have read this article !
By mawbima 2018-03-12

ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතු වී යන ගමනට හානි වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ගමනට හානි නොවන ලෙස අපි වැඩ කළ යුතුයි. ඒනිසා ප්‍රශ්න ඇතිවූ ප්‍රදේශවලට හා ස්ථානවලට අපේ සංඝයා වහන්සේලා සහ පූජකතුමන්ලා සමඟ ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ සඳහා දැනටමත් අපේ සංඝයා වහන්සේලා සහ පූජකතුමන්ලා සහයෝගය දක්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ මහනුවර ඇති වූ කලහකාරී සිද්ධීන් පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (10දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මෙහිදී අපි ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡාවට භාජන කළ යුතුයි. විනාශ වූ දේපොළ සඳහා වන්දි තක්සේරු කිරීම, මියගිය අය සඳහා වන්දි මුදලක් ලබාදීම, විනාශ වූ ව්‍යාපාර පුනරුත්ථාපනය කිරීමට වැඩසටහනක් සකස් කිරීම ඇතුළු මේ සම්බන්ධව ඉදිරි පියවරයන් කඩිනම් කළ යුතුයි.
දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් ආගමික සිද්ධස්ථාන, නිවාස, වාහන, ව්‍යාපාරික ස්ථාන ඇතුළු අනෙකුත් ආයතන 465කට හානි සිදුවී තිබෙනවා. මෙහිදී පූර්ණ හානි 87ක් ද, අර්ධ හානි 196ක්ද, සුළු හානි 182ක් ද සිදුව තිබෙනවා. මේවාහි තක්සේරු කටයුතු ඉතා කඩිනමින් අවසන් කළ යුතුයි.

මේ සියලු සිදුවීම් පිළිබඳ සොයා බැලීමේ කටයුතු කොමිසමකට පමණක් සීමා කරන්නේ නැහැ. කොමිසමක් හෝ කමිටුවක් පත් කරන්නේ සිදු වූයේ කුමක්දැයි සොයාබැලීම සඳහායි. එහි නිගමනය ප්‍රකාශ කරන තෙක් අපි අපේ වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ සිද්ධිය නිසා රටේ ජන කොටස් අතර තිබෙන සම්බන්ධතාව එක් අතකින් අඩු වුණා. තවත් පැත්තකින් වසර 30ක් මේ රටේ යුද්ධයක් කළේ රට එකතු කිරීම සඳහායි. මේ යුද්ධයට මුහුණදී ජීවිත නැති කර ගත් හමුදාව හා අනෙකුත් සියලු දෙනා සිදු කළ කැපකිරීම්වලට මේ සිද්ධිවලින් පහරක් එල්ලවී තිබෙනවා.

මේ සිද්ධිය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරකට සීමා කිරීමට හැකි වුණා. නමුත් මුළු දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමට අපට සිදු වුණා. අප එලෙස කළේ මේ සිද්ධිය වෙනත් ප්‍රදේශවලට පැතිරී යෑම වළක්වා ගැනීමටයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට ස්ථාන කිහිපයක සුළු සිද්ධීන් කිහිපයක් සිදු වුණත් එය රට පුරා පැතිරීම අපට වළක්වා ගැනීමට හැකි වුණා.

අකුරණ ප්‍රදේශයට මුස්ලිම් ජනතාව ගෙනැවිත් ඔවුන් මේ ප්‍රදේශය ආරක්‍ෂා කිරීම සඳහා මුලින්ම පදිංචි කරවනු ලැබුවේ දෙවන රාජසිංහ රජතුමායි. ඒ වගේම සිංහල ජනතාවත් මහනුවර ප්‍රදේශයේ පදිංචි කෙරෙව්වා. මේ කිසිදු ජනකොටසක් මේ ප්‍රදේශවලට බලෙන් පැමිණ පදිංචි වුණේ නැහැ.
මේ ජනකොටස් අතර විවිධ ප්‍රශ්න හා ගැටලු මතුවිය හැකියි. නමුත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් අප විස¼දා ගත යුතුයි. කිසිවිටකත් ප්‍රචණ්ඩත්වයට යොමු නොවිය යුතුයි.
මෙම සිද්ධිවලින් රටේ කීර්තිනාමයට පහරක් එල්ලවී තිබෙනවා. මේ හානිය අවම කර ගැනීමට තව වසර දෙක තුනක් ගත වේවි.
එමෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මේ සිද්ධීන්ගෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් පැමිණෙන්නේ කොළඹටයි. ඒ වගේම මහනුවරටත් ඒ හා සමාන සංචාරකයන් පිරිසක් පැමිණෙන බව කිව යුතුයි. සංචාරකයන්ගේ පැමිණීම මේ වසරේදී වැඩි වනු ඇතැයි අප අපේක්‍ෂා කළත් ඒ බලාපොරොත්තු ඉටුවේ යැයි අපට විශ්වාසයක් තබන්න බැහැ.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනකුගේ මතය වී තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට පොලිසියට ලැබී තිබෙනවා. මේ ගැන කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්නා ලෙස මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා.
මේ සඳහා පෙලඹවීම් සිදු කළ සමාජ වෙබ් අඩවි පිළිබඳවත් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කොට තිබෙනවා. ඒ පිළිබඳව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විද්‍යාල දෙකක සිසුන් දෙදෙනකු හඳුනාගෙන තිබෙනවා.

මේ සිද්ධියේදී ඇතැම් පැවිදි පාර්ශ්වයේ අය ක්‍රියා කළ ආකාරය හා ප්‍රකාශ කළ කරුණු ඒ අයගේ ආගම්වලවත් නැහැ. ඒවා ඒ ආගම්වත් අනුමත කරන්නේ නැහැ.
කලහකාරී සිද්ධියේදී දේපොළ විනාශ වුණා සේම නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් භාණ්ඩ රැසක් අතුරුදන් වී තිබෙනවා. නමුත් මේවා මහනුවර දිස්ත්‍රික්කයෙන් පිටතට ගොස් නැහැ. මේවා තිබෙන්නේ කුමන ස්ථානවලද කියා ග්‍රාම නිලධාරී මහතුන්ට සහ පොලිසියට පහසුවෙන් සොයා ගත හැකියි. ඒවගේම පිටස්තර පුද්ගලයින්ට මෙලෙස පැමිණෙන ලෙස දැනුම් දුන්නේ කවුද යන්න ද මේ අනුව සොයාගත හැකියි.
මේ සිද්ධීන් පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා ඒ වාර්තා කෙටි කාලයක් තුළ අපට ලබාදිය යුතුයි. නමුත් මේ පියවර ගත්ත ද රටට සිදු වූ හානිය කෙටි කාලයකින් අවම කරගත නොහැකියි. ඒ සඳහා දිගුකාලයක් ගත වනවා.

මෙම කලහකාරී සිද්ධීන් ඇති කළ අය පිළිබඳව සොයා බලා වැරැදි කළ අයට දඬුවම් දිය යුතුව තිබෙනවා. ඒ අනුව මා ඉල්ලා සිටින්නේ වැරැදි කළ අයට විරුද්ධව සාක්‍ෂි සොයා ඔවුන් හඳුනා ගන්නා ලෙසයි. ඊට පසු එහි ඉදිරි කටයුතු අධිකරණයට භාර කරමු.
මෙවැනි සිද්ධී නැවැත ලංකාවේ ඇති නොවන්නේ වැරැදිකරුවන්ට දඬුවම් කළොත් පමණයි. දඬුවම් නොකළොත් මෙය වෙනත් තැන්වලටත් යොමු විය හැකියි. ඒ නිසා වැරැදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සිද්ධියේදී නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේදී ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුකම් සිදුවුවත් සමස්තයක් ලෙස පොලිසියෙන් විශාල සේවාවක් සිදුවූ බව කිව යුතුයි. ඒ ගැන ඔවුන්ට මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි.
මීට දින තුනකට පමණ පෙර ජනාධිපතිතුමත් මේ ප්‍රදේශයට පැමිණ කරුණු සොයා බලා අදාළ කටයුතු කළ බව සිහිපත් කළ යුතුයි.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර,

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම් සෙංකඩගල - කෝකිල සමීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon