විත්තිකරුවෝ තමන් නිවැරැදි යැයි අධිකරණය හමුවේ කියා සිටිති

  👤  3769 readers have read this article !
By mawbima 2018-03-12

මිනුවන්ගොඩ - අතුකෝරල

ගම්පහ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, පිහිනුම් තටාකයක් ඉදිකර මහා පරිමාණ ගොවිපොළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 250ක රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් වූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනා චෝදනාවන්ට නිවැරැදිකරුන් බවට පැවසූහ.
ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේදී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාට නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනාවන් කියවාදීමෙන් අනතුරුව එම චෝදනාවන්ට වැරැදිකරුද? නිවැරැදිකරුද? යන්න විමසීය. බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව අධි චෝදනා දෙක බැගින් ගොනු කර තිබූ අතර එම අධිචෝදනා විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව කියවා දීමෙන් අනතුරුව ඔවුහු නිවැරැදිකරුවන් බවට විත්ති කූඩුවේ සිට පැවසූහ.

පළමු විත්තිකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් දේශපාලනඥයන්ට අල්ලස් පනතින් නඩු පැවරිය නොහැකි බව පවසමින් මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතර රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා නිවැරැදිකරු බව නඩු විභාගයේදී ඔප්පු කරන ලෙසට විත්තිය හමුවේ පැවැසීය.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවමින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් එම නඩුවේ සාක්ෂිකරුවකු වන නිහාල් වීරසේකර රාජකරුණා (අවු. 78) යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.

"නීතිඥ වෘත්තියේ වසර 50ක් පමණ සේවය කර තිබෙනවා. වැඩිපුරම සිවිල් නඩු සම්බන්ධයෙන් කටයුතු කළේ. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු ලෙසද සේවය කරනවා. අක්කර 16 රූඩ් 01 පර්චස් 08කින් සමන්විත මල්වාන ගඟබඩ පාරේ පිහිටි අංක 111/03 දරන ඉඩම නිමාලි චම්පිකා සේනාධීර, සන්ධ්‍යා ලාලනි සේනාධීර සහ තනුජා ප්‍රියදර්ශනී සේනාධීර යන තිදෙනාට අයත්ව තිබුණා. ඔප්පුවේ උප ලේඛනයේ සඳහන් එම තිදෙනා විසින් නඩුවට අදාළ ඉඩම විකුණනු ලැබුවා. එම ඉඩම ගැනුම්කරු වූයේ මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන තිරුකුමාරන් නඩේසන්. මගේ ගම්පහ කාර්යාලයේදී ඉඩම් ගනුදෙනුව සහ ඔප්පුවට අස්සන් තැබීම සිදුවූවා. 2010 වර්ෂයේ නොවැම්බර් මස 25 වැනිදා තිරුකුමාරන් නඩේසන් යන අයගේ නමට එම ඉඩම ලියාපදිංචි වුණා. ඉඩම අයිති පාර්ශ්ව තුනම ගම්පහ කාර්යාලයට ආවත් තිරුකුමාරන් නඩේසන් එදින කාර්යාලයට පැමිණියේ නැහැ. විකුණුම්කාරියන් තිදෙනාට මිලියන 30ක බැංකු අණකර 03ක් මුදිත උපාලි ජයකොඩි යන අය එදින කාර්යාලයේදී ලබා දුන්නා. ඔප්පුවට අදාළ මුද්දර ගාස්තු මුදිත උපාලි ජයකොඩි යන අය මට ලබාදුන්නා. ගැණුම්කරුව මා දන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් :
තිරුකුමාරන් නඩේසන් යන අය අද මහාධිකරණයේ සිටිනවාද?
සාක්ෂිකරු :
ඔව්
නි. සො. ජනරාල් :
එයා කොහේද ඉන්නේ? ඉන්නවා නම් පෙන්වන්න.
සාක්ෂිකරු :
විත්තිකූඩුවේ දෙවැනියාට ඉන්නේ. (ඇඟිල්ල දිගු කර දෙවැනි විත්තිකරුව පෙන්වයි)
නැවතත් සාක්ෂි ලබාදුන් සාක්ෂිකරු :
ඉඩම සම්බන්ධයෙන් මට මුලින්ම උපදෙස් දුන්නේ මුදිත ජයකොඩි. මම මුදිතව 2010ට වසර 10කට පමණ පෙර දන්නවා. ඔහු ගෘහනිර්මාණ ශිල්පියෙක්. මුදිත මා හමුවී තිරුකුමාරන් නඩේසන් මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16ක් ප්‍රමාණ ඉඩමක් මිලට ගැනීමට කටයුතු කරන බව මට පවසා සිටියා. විකුණුම්කාරියන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සමඟ මා හමුවීමට පැමිණියා. ඉඩමට අයත් ඔප්පු පරීක්ෂා කිරීමේදී එම ඔප්පුවේ අඩුපාඩු තිබුණා. එම අඩුපාඩු සකසා ගන්න කියා මට ඔවුන්ට උපදෙස් දුන්නා. තිරුකුමාරන් මට කොළඹදී හමුවෙනවා. ඒ අවස්ථාවල ඉඩම සම්බන්ධයෙන් කතාබහ කෙරුණා යැයි පැවැසීය.

දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේසන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීය. ඊට පිළිතුරු දුන් නිහාල් වීරසේකර රාජකරුණා මහතා මෙසේ පැවැසීය. ගැනුම්කරු වෙනුවෙන් සියලු දේ කළේ මුදිත ජයකොඩි. ඉඩම ගත්තේ තිරුකුමාරන් කියා මට මුලින් කිව්වේ මුදිත ජයකොඩි. දෙවැනි විත්තිකාර තිරුකුමාරන් මට හමුවූයේ අවස්ථා කිහිපයකදී බව පැවැසීය. එම සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් කෙරුණු අතර ඔහුව එම නඩුවෙන් මුදාහරිනු ලැබීය. මහාධිකරණය හමුවේ පෙනී සිටි අනෙකුත් සාක්ෂිකරුවන්ට මැයි මස 07 වැනිදාට මහාධිකරණයේ පෙනී සිටීමට නියම කෙරිණි. මහාධිකරණය හමුවේ පෙනී නොසිටි තනුජා ප්‍රියදර්ශනි සේනාධීර නමැත්තියට මැයි 07 මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නැවත සිතාසි නිකුත් කළ අතර නඩුව නැවත මැයි 07 වැනිදාට විභාගයට නියම විය.

තිස්ස ගුණවර්ධන, ඩී. ඒ. පී. වීරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon