දකුණු පළාත් මන්ත්‍රි කසුන් හා බිරිය හෙට තෙක් රිමාන්ඩ්

  👤  4106 readers have read this article !
By mawbima 2018-03-12

මාලඹේ - රාජිකා රණසිංහ,පන්නිපිටිය - හෂාන් පුෂ්පික,කඩුවෙල - සුගත් ලියනගේ, බත්තරමුල්ල - ඉනෝකා සෙව්වන්දි, කොළඹ - එම්. සී. පෙරේරා
කඩුවෙල - කොල්ලුපිටිය (177) සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ රියැදුරකුට තලංගම කොස්වත්ත මංසන්දියේදී බිම පෙරළාගෙන දරුණු ලෙස පහරදී තුවාල සිදු කරනලදැයි චෝදනා ලබා සිටින දකුණු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. කසුන් යන අය හා ඔහුගේ බිරිය පෙරේදා (10දා) කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 13දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා නියෝග කළේය.
මේ අතර බස් රියැදුරු වන මිලින්ද සනත් සුගතපාල යන අය රුපියල් ලක්ෂ දෙකක ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.

ගිනිඅවි පනතේ 44 (ආ) වගන්තිය අනුව තලංගම පොලිසිය මඟින් පළාත් සභා මන්ත්‍රිවරයාට හා බිරිය වන තාරකා පෙරේරා යන දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබිණි.

විත්තිකාර පාර්ශ්වය මඟින් රියැදුරුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලක්ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹදී වෙඩි තබා ඝාතනයට ලක්වූ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන එම්. කේ. රංජිත් (චණ්ඩි මල්ලි) නමින් ප්‍රසිද්ධ අයගේ පුත්‍රයා වන දැනට දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස ක්‍රියා කරන එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිය බව පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයා සහ ඔහුගේ බිරිය 9දා උදෑසන 10.40ට පමණ සුඛෝපභෝගී මෝටර් රථයකින් තලංගම කොස්වත්ත ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී යාබද වෙළෙඳසලක් වෙත යෑම සඳහා තම වාහනය හැරවීමේදී පිටුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ ඉඩ ඉල්ලා නළාව නාද කොට ඇත. එහෙත් බස් රථයට ඉඩ ලබා නොදීම හේතුවෙන් බස් රථයේ රියැදුරු ජීප් රථය අසලට ගොස් විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මේ පහර දීම සිදුව ඇතැයි පොලිසිය පවසයි.
එහිදී සැකකාරිය පිස්තෝලයක්ද අතැතිව අවට සිටි පිරිසටද තර්ජනය කරමින් පැමිණ බස් රථ රියැදුරු බිම දමාගෙන පහරදී ඇති බවත් ඊට පළාත් සභා මන්ත්‍රිවරයාද සහාය දක්වා ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධියෙන් පසුව දෙපාර්ශ්වයම තලංගම පොලිසියට පැමිණ තමන්ට පහර දුන් බව පවසා පැමිණිලි කර ඇති බවද පොලිසිය කියයි.
තුවාල ලබා සිටි බස් රථ රියැදුරු ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර යුවළ ළඟ තිබී පහර දීමට භාවිත කළ පිස්තෝලය සහ මිලි මීටර් 38 වර්ගයේ ජීව උණ්ඩ 5ක් පොලිස් භාරයට ගත් ගෙන ඇත. පිස්තෝලය ජර්මනියේ නිෂ්පාදිත ආමිනියස් වර්ගයේ පිස්තෝලයක් බවද පොලිසිය කියයි.මේ සමඟ සැකකාර යුවළ පැමිණි බවට සැක කෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකාර යුවළ ගිනිඅවිය එල්ල කරමින් තර්ජනය කොට බස් රථ රියැදුරුට පහර දෙන අයුරු බස් රථයේ සිටි අයකු විසින් ජංගම දුරකතනයකින් අදාළ දර්ශන පටිගත කර ඇති අතර එම දර්ශනද පොලිසියට ලබාදී තිබිණි.

මේ ගිනිඅවිය සැකකාර මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට ලබාදී තිබූ නීත්‍යනුකූල ගිනි අවිය බවද කියයි.

නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මිරිහාන අංක ඪඪඪ සහකාර පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහිංකන්ද මහතාගේ මෙහෙයවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon