ඉඩම් අක්කරයක් තියෙන එක් කෙනා ඒක අක්කර දෙකක් කරගන්න හදද්දී තමන්ගේ ඉඩම් අක්කර 2ක් පවුල් 24කට දන් දුන් නන්දාවතී

  👤  3906 readers have read this article !
By mawbima 2018-03-12

ලක්ෂපතියන්, කෝටිපතියන් වීම සඳහා අක්කර සිය ගණන් ඉඩම් මිලදී ගන්නා යුගයක සිය නිවෙසේ රූපවාහිනි යන්ත්‍රයක්ද පවා නැති දෙහිඕවිට මාහින්කන්ද ප්‍රදේශයේ මවක් තමා සතු අක්කර දෙකක් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් විසිහතරක් සඳහා නිවාස ඉදි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට පසුගියදා භාර දුන්නාය.
දෙහිඕවිට වල්පොළ ග්‍රාම සේවා වසමේ මාහින්කන්ද ජනපදයේ පදිංචි ඒ.ජී. නන්දාවතී මහත්මිය විසින් මේ උතුම් ක්‍රියාව සිදු කර ඇත. මෙම ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට පවරා දීමෙන් අනතුරුව දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් විසි හතරක් සඳහා මෙම ඉඩම බෙදා දෙන ලදී. මෙම පුද්ගලයන්ට නිවාස ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය විසින් එක් පුද්ගලයකුට ලක්ෂ පහක මුදල් ආධාරද ලබා දෙන ලදී.

දැරණියගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රි රංජිත් පොල්ගම්පල මහතා විසින් මෙම ඉඩමට පිවිසෙන මාර්ගය අලුත්වැඩියා කර ප්‍රදේශයට විදුලිබලය ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන මෙම ඉඩම පරිත්‍යාග කරන ලද ඒ.ජී. නන්දාවතී මහත්මිය,
අද සමාජයේ අක්කරයක් තිබෙන පුද්ගලයා හදන්නේ මුදල් එකතු කරලා කොහොම හරි අක්කර දෙකක් කරගන්න. අක්කර දෙක තියෙන කෙනා හදන්නේ අක්කර හතරක් කර ගන්න. වර්තමාන තරගකාරී සමාජයේ හැටි එහෙම තමා.

මට යහමින් මුදල් තිබිලා නෙමේ මෙම ඉඩම පරිත්‍යාග කළේ. මගේ නිවෙසේ රූපවාහිනි යන්ත්‍රයක්වත් නැහැ. ඒ වුණාට අපි නොතෙමී ඉන්නවා. නමුත් මෙම ප්‍රදේශයේ හිසට සෙවණක් නැති කී දෙනෙක් ඉන්නවාද? මම ඒ අහිංසක ජනතාව මතක් වෙලා තමා මෙම ඉඩම පරිත්‍යාග කළේ. මට ඒ පිළිබඳ පුදුම සතුටක් හිතට දැනෙනවා. අපි මේවා මැරෙනකොට අරගෙන යන්නේ නැහැ. අපි මේ ලෝකේ කළ හොඳ නරක විතරයි අරගෙන යන්නේ.

සීතාවක-අරන්දර දිසානායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon