අගවිනිසුරුගේ හා උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න යයි

  👤  4023 readers have read this article !
By mawbima 2018-03-11

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

• අග්‍රවිනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට යයි.නව වැටුප් සංශෝධනයට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සන්දේශයට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

යෝජිත වැටුප් සංශෝධන 2018 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කළයුතු බවටද තීරණය වී තිබේ.
ඒ අනුව මසකට රුපියල් 15,000ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් රහිත විශේෂ දීමනාව වෙනුවට මසකට රුපියල් එක්ලක්ෂ පනස් දහසක විශ්‍රාම වැටුපට ගණන් ගැනෙන වෘත්තීය දීමනාවක් විනිශ්චයකාරවරුන්ට ලබාදීමට තීරණය වී ඇත.

මෙතෙක් වැටුපෙන් සියයට 25ක් වශයෙන් ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප් සහිත දීමනාව 2018 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 50 දක්වා වැඩිකිරීමටත්, එම දීමනාව නව වැටුප් අනුව ලබන වැටුප පියවර පදනම් කර ගණනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අග්‍රවිනිශ්චයකාරවරයාගේ, ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ, අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් පිළියෙල කර ඇති ලේඛනයට අනුව ප්‍රතිශෝධනය කරනු ඇත.

මේ සඳහා වන යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප්ද වැඩිවීම සාමාන්‍ය පිළිවෙතයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon