රනිල්ගෙන් හැම ගමකටම සාම කමිටුවක්

  👤  4240 readers have read this article !
By mawbima 2018-03-11

පක්ෂ, ආගම්, ජාති භේදයකින් තොරව ප්‍රදේශයේ පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන සෑම ග්‍රාම නිලධාරි වසමක්ම කේන්ද්‍ර කරගෙන සාම කමිටු ස්ථාපිත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම එජාප මන්ත්‍රිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට උපදෙස් දී තිබේ.

ගමේ සාමයට හා සංහිඳියාවට බාධාකාරී වන ක්‍රියාවන් වෙතොත් පොලිසිය මැදිහත් කරගෙන වහාම එම ක්‍රියාවන් වැළැක්වීමට එම සාම කමිටු ක්‍රියාත්මක විය යුතු බවත් පිටස්තර ප්‍රදේශවලින් පැමිණ කඩාකප්පල් ක්‍රියාවල යෙදෙන්නන් පිළිබඳව වහාම ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ. මේ සාම කමිටු මෙහෙයවීම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පැවැරීම වඩාත් උචිත බව පෙන්වාදී ඇති අගමැතිවරයා ඒ සඳහා විශේෂ ඒකකයක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තම ගම් ප්‍රදේශවල සිදුකෙරෙන නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්, වැලි හා පස් ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු ප්‍රථමයෙන්ම දැනගැනීමට ලැබෙන්නේ ගම්වාසීන්ට බැවින් එවැනි කටයුතුවලට වැට බැඳීමට මෙමඟින් හැකිවන බවද අගමැතිවරයාගේ අදහස වී තිබේ.

මේ සාම කමිටුවල කාර්යභාරය, ඒවායේ ව්‍යුහය පිළිබඳව පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ඇරැඹීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon