බන්ධනාගාර නිලධාරීන්ට අලුත් නිල ඇඳුමක්

  👤  3555 readers have read this article !
By mawbima 2017-07-17

කුමුදු උපුල් ශාන්ත

බන්ධනාගාර නිලධාරීන් දැනට භාවිත කරන නිල ඇඳුම වෙනුවට වෙනත් සුදුසු ඇඳුමක් හඳුන්වාදීම සඳහා පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බවද ඔවුන් ගනු ලබන තීන්දු තීරණ අනුව දැනට භාවිත කරන නිල ඇඳුම ඉදිරියේදී වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

බන්ධනාගාර නිලධාරීන් දැනට භාවිත කරන නිල ඇඳුමේ තිබෙන පිත්තල බොත්තම් සහ බඳ පටිවල තිබෙන පිත්තල උපාංග හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව තිබෙන ස්කෑන් යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එකී කාරණා හේතුවෙන් ඇතැම් පුද්ගලයන් බන්ධනාගාරයට රහසිගතව ගෙන යනු ලබන තහනම් ද්‍රව්‍ය පවා හඳුනාගැනීමට එම නිලධාරීන්ට හැකියාවක් නොමැති වී ඇති බවද ඒ මහතා කීය.

තවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව යනු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවත් එවැනි කාර්යයන් ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කාකි ඇඳුම් නොගැළපෙන බව නව පුනරුත්ථාපනය ක්‍රියාවලියේ නියැළෙන රටවල් පවා හඳුනාගෙන ඇති බවත් ඒ අනුව බොහෝ කලාපයීය රටවල් මේ වන විටද බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුම් එකී අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට පියවර ගෙන ඇති බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වැඩපිළිවෙළ බන්ධනාගාර නිලධාරීන්ගේ ආකල්ප දිරි ගැන්වීමේ ක්‍රියාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන බවත් මේ සඳහා බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ අනුමතයද ලැබී ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්