දළදා මාලිගාවට පොලිතින් හා ප්ලාස්ටික් ගේන්න තහනම්

  👤  3606 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (13).jpg (600×350)

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්
සෙංකඩගල - කෝකිල සමීර
මහනුවර - නදීක බණ්ඩාර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගිත්වයෙන් දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති හරිත පුණ්‍ය භූමි වැඩසටහනට සහභාගි වෙමින් දියවඩන නිලමේ මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා සඳහන් කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී දිනකට කැළි කසළ ටොන් තුනක් පමණ එකතු වන බවයි. හරිත පුණ්‍යභූමි වැඩසටහන යටතේ ඉදිරියේදී මේ කැළි කසළ මාලිගා පරිශ්‍රයේදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.
මින් ඉදිරියට පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් මල් වට්ටි ආදිය මාලිගාවට ගෙන ඒමෙන් වළකින ලෙසද දියවඩන නිලමේවරයා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කෙළේය.

මෙය සමාජයට මහඟු ආදර්ශයක් බවත් මේ සඳහා ජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවත් දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවැසුවේ කසළ කළමනාකරණය රටටම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක මෙය සමාජයට මහඟු ආදර්ශයක් බවයි. මේ හරිත පුණ්‍ය භූමි වැඩසටහන ඉදිරියේදී ශ්‍රී මහා බෝධිය සහ කිරිවෙහෙර ඇතුළු සියලු ආගමික ස්ථානවලටත් හඳුන්වා දෙන බව ඇමැතිවරයා කීය.

ශ්‍රී දළදා මාලිගාවට ගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට වේවැල්වලින් තැනූ පරිසර හිතකාමී මල් වට්ටිද මේ අවස්ථාවේදී බැතිමතුන්ට හඳුන්වාදීම දියවඩන නිලමේවරයා සහ අමාත්‍යවරයා විසින් සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්