කර්මාන්ත අංශවල නිෂ්පාදන ධාරිතාව 2.3%ක වර්ධනයක්

  👤  3537 readers have read this article !
By mawbima 2017-07-17

උදයන්ති මුණසිංහ

පසුගිය වසරේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව, මේ වසරේ මැයි මස නිෂ්පාදන කර්මාන්ත අංශයන්හි නිෂ්පාදන ධාරිතාවෙහි 2.3%ක වැඩිවීමක් වාර්තා වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ පැවැසීය. මේ වසරේ මැයි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මේ දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් සහ ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනාගත හැකිය. 2016 මැයි මස මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2017 මැයි මස ලෝහ නිෂ්පාදන (21.6%), ගෘහ භාණ්ඩ නිෂ්පාදන (15.4%) සහ මූලික ලෝහ නිෂ්පාදන (14.0%) වල කැපී පෙනෙන වර්ධනයක් වන අතර මේ වසරේ මැයි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 0.1%ක වැඩිවීමක් වාර්තාකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ බීම වර්ග නිෂ්පාදනවල පසුගිය වර්ෂයේ (2016) මැයි මාසික නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙළින් 21.0%, 6.1% සහ 5.7%ක අඩු වීමක් වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්