ගුරුවරයාගේ මඟුල් ගෙදර යන අතරේ සුන්දර මාවිල්ආරුවට වසඟ වී මරු දුටු සිසුන් දෙදෙනා

  👤  3739 readers have read this article !
By mawbima 2017-07-17

රඹාවැව - කේ.ඒ. ජයසූරිය,

කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ, ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ
පාසලේ් තමන්ට අකුරු කරනා ගුරුවරයාගේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ දා සිට එහි යන්නට කා බී විනෝද වන්නට දරුවන් සිටියේ ඇඟිලි ගණිමිනි. සහෝදර ගුරුවරයාගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමට ආරාධනා ලැබූ ගුරුවරුන් වැඩිහිටියන් වුවද ඔවුන්ද ඒ දිනය පැමිණෙන තෙක් ඇඟිලි ගැන්නේ හැමදාමත් කරන රාජකාරි කටයුත්තෙන් මිදී දුර බැහැර ගමනක සතුට විඳගැනීමට තිබූ කැමැත්ත නිසාවෙනි.

අවසානයේදී සේරුවිල තෝපූර් පෙදෙසේ පදිංචි ගුරුවරයාගේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහා කුරුණෑගල කටුපොත අරක්ගල අරාබි පාසලේ අසූ දෙනකුගෙන් පමණ සමන්විත ගුරු සිසු පිරිසක් ලක ලැහැස්ති වී සිටියහ. ඔවුන් 15දා උදෑසනම මුලතිව් බලා යන්නට පිටත් වූයේ මේ ගමනේදී කණ්ඩායමට ඇතුළත් සිසු දරුවන් දෙදෙනකු සදහටම අතහැරපියා එන්නට සිදුවන බව හාංකවිසියකින්වත් දැනගෙන නොවේ.

බස් දෙකකින් හා වෑන් රියකින් ගිය මේ ගමන නිතැතින්ම විනෝද චාරිකාවක් බවට පෙරැළී තිබුණේ තරගෙට කල්ලි ගැසී කියන සින්දු සහ කොක් හඬලන සිනහ හඬද සමඟිනි.

ගමනාන්තයට ආසන්න වෙමින් සිටියදී ඉතා සුන්දරව පෙනෙන මාවිල්ආරු ජලාශය පසුකර යන්නට කිහිපදෙනකුගේ සිත නොදුන්නාම විය හැකිය. අප රටේ යුද ඉතිහාසයේත් හැරවුම් ලක්ෂ්‍යයක් වන මාවිල්ආරු සොරොව්ව නැරැඹීමට කණ්ඩායමේ තව කිහිපදෙනකු තුළ කැමැත්තක් තිබෙන්නට ඇත. කෙසේ හෝ අවසානයේදී මඟුල් ගෙදරට යෑමට වේලාව වැඩි නිසා කණ්ඩායම මාවිල්ආරු සුන්දරත්වය අත්විඳින්නට තීරණය කර තිබේ.

මාවිල්ආරු සොරොව්වේ රවුමක් ගිහින් එන්නට කණ්ඩායමෙන් මඟහැරුණු දඟකාරයන් හයදෙනකුගේ හිත කියන්නේ එහි තිබූ කුඩා බෝට්ටුවක් ඇයට හසු වීමත් සමඟය. හබලක් නොතිබූ කුඩා බෝට්ටුවේ හබල් බවට පත්වූයේ කුඩාවූවන්ගේ අත්ය. එහෙත් සෙමින් ඉදිරියට ඇදුණු බෝට්ටු චාරිකාවේ චමත්කාරය විඳගැනීමට ඔවුන්ට වැඩි කාලයක් නොලැබුණේ බෝට්ටුව පෙරැළී යෑම හේතුවෙනි. එතෙක් කුඩා සිත් තුළ ඉතිරී පැතිරුණු සතුට ජීවිතය බේරාගැනීමේ සටනක් බවට පත්වෙද්දී හතරදෙනකුට යාන්තම් ගොඩට ඒමට හැකිවී ඇත.

අනෙක් දරුවන් දෙදෙනාගෙන් එම්.එච්.එම්. අබ්දුල්ලා ද වෑයමින් ගොඩ ඒමට හදද්දී පහළ පන්තියක ඉගෙන ගන්නා එන්. අබ්දුල්ලා වතුරේ ගිලෙන්නට යන ආකාරය දැක ඔහුව බේරාගැනීමට ආපසු හැරී ගොස් තිබේ. එවිට ඔහුද වළකට වැටී ඇත.
ළමයින් දෙදෙනකු ගිලෙන බව කියමින් ගමේ කෙනකු කෑ ගසනු අසා එහි පැමිණි අය දරුවන් දෙදෙනා රෝහලට ගෙන ගියත් ඒ වන විටත් එම දෙදෙනා ජීවිතය හැර ගොස් සිටියහ.

පහළ පන්තියක ඉගෙනගන්නා සහෝදර සිසුවා බේරාගැනීමට උත්සාහ දරන අතර තම ඉරණම් ගමන ගිය එම්.එච්.එම්. අබ්දුල්ලා සිසුවාට මියයන විට වයස අවුරුදු 18කි. 'මව්බිමේ' අප ඔහුගේ කුරිකොටුව, පහමුණේ පිහිටි නිවෙසට යන විට ඔහුගේ නිසල දේහය ආගමානුකූලව දෝලාව තුළ තැන්පත් කර තිබුණු අතර ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටියහ.

සිය පුතුගේ මරණයෙන් දුකට පත්ව සිටින මියගිය එම්.එච්.එම්. අබ්දුල්ලාගේ් පියා වන එම්.සී.එම්. හනිෆා (64) මෙසේ පැවැසීය.
'මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. එයින් පස් දෙනෙක් ගැහැනු දරුවන්. මියගොස් සිටින පුතා පවුලේ බාලයා. මට හිටිය එකම පිරිමි දරුවා. එයා අරාබි විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පූජකවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා. හරිම දක්ෂයි. සියලු දෙනාටම හරිම ආදරෙයි. නිතර හිනහ වෙලයි ඉන්නේ.
එයාට කුරාන් පොත කට පාඩමින් කියවන්න පුළුවන්. එයා දැන් අපේ ආගමේ හැටියට හාපීස් දක්වා ඉගෙන ගෙන තියෙන්නෙ. මගේ පුතාගේ හදිසි වියෝව මට දරාගන්න බැහැ.

15දා පාන්දර මුලතිව් යන්න තමයි ගියේ. 10ට විතර මේ ගොල්ල මඟුල් ගෙදර යන්න කල් වැඩි හින්දා මාවිල්ආරු සොරොව්ව බලන්න බැහැලා තියෙනවා. ළමයි ඔක්කොම බස් එකෙන් බැහැලා ඉඳලා තියෙනවා. ළමයි කට්ටියක් එතැන තිබුණු මාළු අල්ලන කුඩා බෝට්ටුවකින් මාවිල්ආරු සොරොව්වේ රවුමක් ගිහිල්ලා ඇවිල්ල තියෙනවා. ඊට පස්සේ අපේ පුතාත් එක්ක දරුවා් හය දෙනෙක් ඒ බෝට්ටුවේ ගිහිල්ලා තියෙනවා. මේකට හබලක් තිබිලා නැහැ. අතින් තමයි හබල් ගහලා තියෙන්නේ. කොහොම හරි බෝට්ටුව පෙරළිලා තියෙනවා.'

මෙම ගමනේදී මියගිය අනෙක් සිසුවා වන්නේ අරක්ගල මහා විද්‍යාලයේ 6 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ අරක්ගල කැකුණගොල්ල පදිංචි එන්. අබ්දුල්ලා (අවුරුදු 11) සිසුවාය.
අබ්දුල්ලාගේ පියා එල්.එල්. නිහ්මතුල්ලා (අවු:39) මේ වන විට මිය ගොස්ය. ඔහුගේ මව එම්. ආර්. රුවයිසා (අවු: 33) මහත්මිය තම දරුවාගේ වියෝවින් මහත් කම්පාවට පත්ව සිටින්නීය.

"මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. අබ්දුල්ලා දෙවැනියාය. තව දුවයි පුතයි තමයි ඉන්නේ. මහත්තයා හදිසියේ මෙයට පෙර මිය ගියා. මම අමාරුවෙන් තමයි දරුවෝ හදාගන්නේ. මගේ අබ්දුල්ලා පුතා ඉගෙන ගන්න හරි දක්ෂයි. ඊට අමතරව එයා සවසට අරක්ගල අරාබි විද්‍යාලයට යනවා ආගම ඉගෙන ගන්න. එයාලගේ සර් කෙනකුගේ මඟුල් ගෙදරක යන්න කියලා තමයි 15 වැනිදා පාන්දර හතරට විතර ගියේ. බස් දෙකක් සහ වෑන් එකක් ගියා. ආරාබි විද්‍යාලයේ සර්ලත් ගියා. ඉතින් අපිට බයක් තිබුණේ නැහැ. බෝට්ටු පැද්ද මාවිල්ආරු අමුණෙ වැලි අදින වළවල් තියෙවනවලු. කිඹුල්ලුත් ඉන්නවා කියලා මහනුවර පොලිසියේ මහත්වරු කිව්වේ. ඉතිං අපිට පුතා නැතිව ගියා. මට දරාගන්න බැහැ."

අරක්ගල, කැකුණගොල්ල කුරිකොටුව පහමුණේ කිළිංපොළ වැනි ප්‍රදේශවල සිටින ජනතාවගේ සෝ සුසුම් මැදින් ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසුව එම්.එච්.එම්. අබ්දුල්ලා කුරිකොටුව මුස්ලිම් සුසාන භූමියේදීත් එන්. අබ්දුල්ලා අරක්ගල මුස්ලිම් සුසාන භූමියේදීත් අවසන් ගමන් ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්