අසරණ ගොවියා දරුවට බෙහෙත් ගන්න මන්නා පිහියත් උකස් තියලා

  👤  3569 readers have read this article !
By mawbima 2017-07-17

නාච්චාදූව - කිත්සිරි වනසිංහ, අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය, ඇලයාපත්තුව - කුමාර වන්නිනායක

නියඟයෙන් දැඩි පීඩාවට පත්ව කුසට ආහාරයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක දිවි ගෙවන මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි මහතකු තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා නිවසේ තිබූ මන්නා පිහියක් උකසට තබා රුපියල් 300ක මුදලක් ණයට ඉල්ලා ගත් පුවතක් මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අවස්ථා කිහිපයකදී තම දරුවන්ගේ හා බිරියගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක් ණයට ගෙන ඇති මෙම තැනැන්තා එම ණය මුදල් ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින හෙයින් නිවසේ තිබූ පිහිය උකසට තබා රුපියල් 300ක් ඉල්ලූ බව වෙළෙඳසල් හිමිකරු වන සරත් ප්‍රියංග රත්නායක මහතා පැවැසීය.
මෙකී ගොවි මහතා කළ ඉල්ලීම කෙරෙහි අනුකම්පා සහගතව බැලූ වෙළෙඳසල් හිමියා ඔහුට රුපියල් 300 ලබා දී පිහිය ද ආපසු රැගෙන යන ලෙසට පවසා තිබේ. නමුත් තමන් කෙරෙහි දැක්වූ සහයෝගය අගයමින් එම මුදල හා පෙරදී ලබාගෙන ඇති ආහාර ද්‍රව්‍යවලට ගෙවීමට ඇති ණය මුදල් ආපසු ලබාදෙන තෙක් තමන් රැගෙන ආ පිහිය බලෙන් මෙන් වෙළෙඳසලෙහි තබා ගොවි මහතා පිටව ගොස් තිබේ. එසේ වෙළෙඳසලේ තබ ගිය පිහිය රුපියල් 800ක් පමණ වටිනා බව වෙළෙඳසල් හිමියා පැවැසීය. තමන් කිසිදිනෙක කිසිවක් උකසට තබාගෙන වෙළෙ¼දාමක් සිදුකර නොමැති බවත් හොඳ හිත ආරක්‍ෂා කර ගැනීමේ අදහසින් එම පුද්ගලයා පිහිය ඇපයට තබා යන්නට ඇති බවත් වෙළෙඳසල් හිමිකරු පැවැසීය.

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගනුදෙනුකරුවන් වශයෙන් මේ වන විට රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් ණය වශයෙන් කඩේට ගෙවීමට ඇති බවත් ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ සිටින බව පවසන විට ව්‍යාපාරිකයකු වශයෙන් වෙළෙඳසලේ තිබෙන දෙයක් නොදී ආපසු හරවා යැවිය නොහැකි බවත් සරත් ප්‍රියංග රත්නායක මහතා කීය. මෙවැනි තත්ත්වයක් හමුවේ වෙළෙඳසල පවත්වාගෙන යෑම අපහසු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහවිලච්චිය, නොච්චියාගම මාර්ගයේ බෝගහ හන්දියේ ඇති වෙළෙඳ සලකින් එම ගොවි මහතා මෙම ගනුදෙනුව සිදුකර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්