මේ වුණේ රටේ ප්‍රබලයො බැන ගන්නකොට ඇති වුණු ජනතා අවිශ්වාසයයි

  👤  3407 readers have read this article !
By mawbima 2018-02-25

ආණ්ඩු පෙරළනවද, ආණ්ඩු හදනවද කියලා තිබූ ආන්දෝලනය යටපත් කරමින් මේ ආණ්ඩුවම එකට යනවා කියලා තීරණය වුණා. දැන් දෙගොල්ලගේ ප්‍රශ්න ඉවරද?
ඔව්. අගමැතිතුමත් පාර්ලිමේන්තුවේ නැඟිටලා කිව්වා ජාතික ආණ්ඩුවක් තියනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාත් ඒ බව කිව්වා. දැන් ප්‍රශ්නයක් නෑ.

එ.ජා.ප. පසු පෙළ මන්ත්‍රිවරු මැතිවරණයට කලින් කෑමොර දුන්නේ තනිව ආණ්ඩුවක් හදන බව. බහුතරය හදාගන්න බැරි තැන අන්තිමට එකට යන්න වුණා නේද?
මැතිවරණයට කලින් එහෙම කිව්වට මැතිවරණයෙන් පස්සෙ ‍ෙදාගොල්ලන්ගෙම මතය වෙලා තියෙන්නෙ එකට යන්න ඕනෑ කියලා. මැතිවරණයට කලින් කිව්වා අලුත් ආණ්ඩුවක් හදනවා, අලුත් මාර්ගයක යනවා කියලා. නමුත් මැතිවරණයෙන් පස්සෙ ඒ තත්ත්වය හැම තැනම වෙනස් වෙලා තිබෙනවා. දෙගොල්ලම එකට යන්න තමයි දැන් මතය වෙලා තියෙන්නෙ.

දෙගොල්ල දෙපැත්තට බෙදිලා පහර ගැහුවා?

ඔව්, ඒක තමයි මැතිවරණ පරාජයට හේතුව.

ඒ දෙපිල බෙදිලා ගහගත්ත අතරෙ ජනතාව දෙගොල්ලම එකට තියලා පැරැද්දුවා නේද?
ආණ්ඩුවේ ප්‍රබලයෝ ආණ්ඩුවම විවේචනය කරනකොට ඒ ආණ්ඩුව ගැන තියෙන විශ්වසනීයභාවය අඩු වෙනවා. ජනතාව තීන්දු ගත්තා ඉතින් මේ විදියට වැඩ කරනවා නම් මේ අය ආණ්ඩු කිරීමට නුසුදුසුයි කියලා.

එතන ලොකු වැරැදීමක් වුණා කියලා ඔබ පිළිගන්නවද?

පැහැදිලිවම. පැහැදිලිවම වැරැද්දක් වුණා. ආණ්ඩුවේ ප්‍රබලයෝ ආණ්ඩුව විවේචනය කරද්දි ජනතා විශ්වාසය නැති වෙනවා.

දෙපිල බෙදිලා මෙහෙම පහර ගහන එකට මොකක්ද හේතුව?

සමහරු හිතුවා අපිට ගැහුවම ඒගොල්ලන්ගෙ ඡන්ද ගොඩ වැඩි වෙයි කියලා. නමුත් ඒක වුණේ නෑ. දෙගොල්ලම විනාශ වුණා.

මෙපමණ කාලයක් වුණේ ආණ්ඩුව තියෙන පාර්ශ්වය ජයග්‍රහණය කිරීම. ආණ්ඩුවේ ඉඳලත් ගම දිනාගන්න බැරි වුණ එකම ආණ්ඩුවේ ප්‍රබල පරාජයක් නේද?

නෑ. ඉතින් මේක වුණේ මේ ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රමාද වී පැවැත්වීම නිසා. අවශ්‍ය කාලය තුළ තිබ්බා නම් මේ ප්‍රතිඵලය එන්නෙ නෑ. හුඟක් කට්ටිය මේ ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණය තිබ්බේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය අවසන් වූ විගස. ඉතින් අපි මෙතන අවුරුදු 3ක් විතර ප්‍රමාද කළානේ. ඒ ප්‍රමාදය තමයි බලපෑවේ.

නුවර කියන්නේ එ.ජා.ප.යට බරසාර දිස්ත්‍රික්කයක්. ඔබේ නායකත්වය යටතේ මෙවර ප්‍රාදේශීය සභා ගණනක්ම පරාජයට පත් වුණා නේද?

නුවර හැමදාම යූ.එන්.පී.යට එන ප්‍රදේශයක් නෙමේ. මං ඇයි එහෙම කියන්නෙ? ඔබ දන්නවද මහනුවර මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා මහ ඇමැතිවරයෙක් ඉන්නවා අවුරුදු 15ක් තිස්සේ. අවුරුද්දක් දෙකක් නෙමේ අවුරුදු 15ක්. අවුරුදු 15ක් පළාත් සභා මැතිවරණය දිනලා තියෙනවා. එහෙම යූ.එන්.පී.යට ලියලා දීලා තියෙන ප්‍රදේශයක් නෙමේ. නමුත් අපිට ජනාධිපතිවරණයයි, පාර්ලිමේන්තු මැතිවරණයයි ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. අවුරුදු ගණනකට පස්සෙ.

නමුත් ඔබත් නුවර එ.ජා.ප. ප්‍රබලයෙක්?

නෑ නෑ. මං කියන්නෙ මං එහි යූ.එන්.පී. නායකත්වය ගන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ඇමැතිවරයෙක් ඉන්නවා. අවුරුදු 15ක්. නමුත් ගිය ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් මගේ නායකත්වයෙන් එහි ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. නමුත් අපිට මහනුවර පරාදයි කියන්න බෑ. සභා 22න් 15ක් අපිට හදන්න පුළුවන්. අපිට එකක් දෙකක් තමා අඩුවෙලා තියෙන්නෙ. ශ්‍රීල.නි.ප.ය එක්ක එකතු වුණොත් අපිට 15ක් හදන්න පුළුවන්. අනෙක් එක යූ.එන්.පී.යට ජනාධිපතිවරණයේ ලැබිච්ච ඡන්ද මේ පාර හුඟක් කැඩුණා. ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉල්ලුවා. රිෂාඩ් බදියුදීන්, හකීමුත් සමහර ස්ථානවල වෙනම ඉල්ලුවා. ඡන්ද ලක්ෂයක් විතර කැඩුණා. ඒ ඡන්ද ගිය ජනාධිපතිවරණයෙදි කෙළින්ම අපිට හම්බ වෙච්ච ඡන්ද.

ඔය කොහොම කිව්වත් වෙනම ඉල්ලුවත් එකට ඉල්ලුවත් තමන්ගෙ ප්‍රශ්නවලට උත්තර මහ පක්ෂ දෙකටම නෑ කියන පාඩම නේද ජනතාව ඉගැන්නුවේ?

නෑ. මේක මේ අණ්ඩු කරන විලාසය. රජයේ ප්‍රබලයන් විවේචනය කරගන්නකොට ඒ ආණ්ඩුව ගැන විශ්වසනීය බව නැති වෙනවනේ. ඒක ආණ්ඩුකරණය තුළ තියෙන තීන්දුවක්. ඒකෙන් වුණේ දෙගොල්ලම විනාශ වුණු එක.

මේ පාර පාඩමක් ඉගෙන ගත්තා වගේ?

පැහැදිලිවම, පැහැදිලිවම.

ජනාධිපතිවරයා ඒකාබද්ධ මන්ත්‍රිවරු ගෙන්නලා අගමැතිකම ගැන සාකච්ඡා තිබ්බා. මේ හුටපටය කොහොමද ජනතාව තේරුම් ගන්නේ?

ඔව්. මැතිවරණයෙන් පස්සෙත් ශ්‍රීල.නි.ප.යේ ඇතැම් කොටස් මේක තේරුම් අරන් නෑ. අනෙක් එක ශ්‍රීල.නි.ප.යට ආණ්ඩුව ගැන කැක්කුමක් නෑ. මොකද ඒගොල්ලො ආණ්ඩු හදන්න උදවු කළේ නෑනේ. ආණ්ඩුව හදන්න උදවු කළේ එක්සත් ජාතික පක්ෂයයි, ටී.එන්.ඒ. එකයි, මුස්ලිම් පක්ෂයයි, ජේ.වී.පී. එකයි, ඒ ඒ වගේ කණ්ඩායම්. එක පෙරමුණකින් ආවේ. ශ්‍රීල.නි.ප.ය ආණ්ඩු හදන්න උදවු කෙරුවෙ නෑ. ඒගොල්ලො අපි දිනුවට පස්සෙ ආපු කට්ටිය. ඉතින් ඒ අයට ආණ්ඩුව ගැන කැක්කුමක් නෑ. හැඟීමක් නෑ. පුළුවන් තරම් මේක සම්පූර්ණයෙන් අනලා ව්‍යාකූල කරලා ආයෙත් මහින්දත් එක්ක කොක්ක ගහන්නයි ඒ අයට ඕනේ. මේගොල්ලො ආණ්ඩුවේ හිටියට මේගොල්ලො ඒකාබද්ධ විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් තමයි යටින් ඉෂ්ට කරන්නෙ.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් තිබෙනවද?

ශ්‍රීල.නි.ප.යෙ සමහර මන්ත්‍රිවරු එවැනි ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. මොකද ඒ අයට අගමැති ගැන හෝ ජනපති ගැන හැඟීමක් නෑ.
නමුත් අගමැතිවරයා කරන දේ ජනාධිපති දන්නෙ නෑ, ජනාධිපතිවරයා කරන දේ අගමැතිවරයා දන්නෙ නෑ කියන කාරණය පහුගිය කාලය තුළ අහන්න ලැබුණා?
නෑ. එහෙම තත්ත්වයක් නෑ. හැම තීරණයක්ම කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙලානේ ආවේ. බොහෝ වැදගත් තීරණ නිකම් අගමැතිතුමා අනුමත කෙරුවෙ නෑ. කැබිනට්ටුවේ ප්‍රධානියා ජනාධිපතිතුමා. දැන් කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය හදන එක වුණත් හැම තීරණයක්ම, කාටද මේක දෙන්නේ, කොයි කොන්ත්‍රාත්කරුටද දෙන්නෙ,

කීයටද දෙන්නෙ, හදන්න ඕනෑ කාලසීමාව, ඒ ඔක්කොම කැබිනට් එකෙන් අනුමත වෙලා ආපුවා. උදාහරණයක් විදියට කවුරු හරි කියනවා නම් කොළඹ-නුවර අධිවේගී මාර්ගය හදන ක්‍රමය දැනගෙන හිටියෙ නෑ කියල ඒක වෙන්න බෑ.

එ.ජා.ප.යෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මහ ඉහළින් කතා කළාට අද වෙද්දි ඒ බැරිකම ඔප්පුවෙලා කියන චෝදනාවත් එක්ක නේද රටේ ආර්ථිකය ජනාධිපති අතට ගත්තෙ?
නෑ. කොහෙත්ම නෑ. අද විවෘත ආර්ථික ප්‍රතිපත්තියනේ හැම ආණ්ඩුවකම තියෙන්නෙ. කවුරු ආණ්ඩුව අතට ගත්තත් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට යන්න වෙනවා.
ජාතික ආණ්ඩුව ගොඩනැඟුවේ අවුරුදු දෙකකට. මේ වෙද්දි කාලය අවසන්. නමුත් ඒ බව කතානායකවරයාට දැනුම්දී නෑ. මේක ව්‍යවස්ථා විරෝධී නේද?
නෑ. ව්‍යවස්ථාවට පටහැනි නෑ. ජාතික ආණ්ඩුව කියන්නෙ ප්‍රධාන පක්ෂ කිහිපයක් එක්කහුවෙලා හදන ආණ්ඩුවක්. ඒ පක්ෂවල නායකයෝ පාර්ලිමේන්තුවේ නැඟිටලා කිව්වම මේ ජාතික ආණ්ඩුව තියනවා කියලා එතන ප්‍රශ්නය ඉවරයි. අගමැතිවරයත්, සන්ධානයේ මහ ලේකම්වරයත් කිව්වා ජාතික ආණ්ඩුව තියනවා කියලා. ව්‍යවස්ථාවට එය ප්‍රමාණවත්. ඒකනේ කිව්වේ එදා පාර්ලිමේන්තුව කියන්නෙ කච්චේරියක් නෙමේ කියලා.

ඔබ සෘජුවම කියන්නෙ ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා?


පැහැදිලිවම.

මැතිවරණයෙන් රාජපක්ෂ කණ්ඩායම විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඇයි ඔවුන්ට විපක්ෂ නායකකම නොදෙන්නේ?

ඒගොල්ලො ජයග්‍රහණයක් ලබලා තියෙනවා. මං නෑ කියන්නෙ නෑ. නමුත් රටේ ජනතාවගෙන් 55%ක් ඒගොල්ලන්ට විරුද්ධයි තනි පක්ෂයක් ලෙස බහුතර ඡන්ද ලැබුණට. අනෙක් එක මේක පළාත් පාලන ඡන්දයක්. ජනතාවගේ ප්‍රශ්න වෙනස්.

ආණ්ඩුවක් විදියට ලොකු කඩාවැටීමක් කියන කාරණය යට කරන්න බෑ නේද?

නෑ ඉතින් මේ සභා ටික හදනකම් ඉන්න එපැයි. සභා 150ක් විතර අපිට හදන්න පුළුවන් ශ්‍රීල.නි.ප.යටයි, එ.ජා.ප.යටයි.

නමුත් ජන වරමක් තියෙනවද ඔබලාට තවදුරටත් ඉදිරියට යන්න?

පාර්ලිමේන්තු මැතිවරණයේ ජන වරම වෙනස්. ජනාධිපතිවරණයෙ ජන වරම වෙනස්. පළාත් පාලන මැතිවරණයේ ජනවරම වෙනස්. එහෙනම් අපි 2015 ජනාධිපතිවරණයයි, මහ මැතිවරණයයි දින්නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැතිවරු අස්වෙන්න එපැයි. එහෙම අස් වෙන්න කියලා අපිටත් කියන්න තිබුණනේ. එහෙම තර්ක ගේන්න බෑ.

සයිටම් අර්බුදය මෙවර මැතිවරණයට බලපෑවා නේද?

නෑ. ඒක ඒ තරම් බලපෑවේ නෑ. මොකද සයිටම් ප්‍රශ්නෙ අපි කොහොමටත් විසඳලා තියෙන්නෙ. සයිටම් පටන් ගත්තෙ අපි නෙමේ. ගිය ආණ්ඩුව. දැන් ගිය ආණ්ඩුවම ඒකට විරුද්ධයි.

සයිටම් විරෝධී පාර්ශ්වය කියනවා ඔබ යටතේ පවතින උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයට සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කරන්න කියලා?

කැබිනට් මණ්ඩලය තෝරන්න ඒ අයට බෑනේ.

මේ සයිටම් ප්‍රශ්නෙදි ජනතාව ඇයි මේ තරම් ඔබ ප්‍රතික්ෂේප කළේ?

නෑ. සයිටම් පටන් ගත්තෙ අපි නෙමේනෙ. සයිටම් පටන් ගත්ත කට්ටියමනෙ දිනලා තියෙන්නෙ. සයිටම් ප්‍රශ්නෙ විතරක් ඡන්දෙට බලපෑවේ නෑ. මේක ආණ්ඩුවරණය කියන එකට රටේ ප්‍රබලයෝ බැන ගන්නකොට ඇති වූ ජනතා අවිශ්වාසය.

ඒත් ඔබ සයිටම් වෙනුවෙන් කඩේ යනවා කියලා චෝදනා ආවේ?

ඔබ යෝජනා කරන්නෙ මේ ළමයි ඔක්කොම පාරට ඇදලා දාන්න කියලද? ඔබ මොකද කියන්නේ? අපි හදන්නෙ මේ ළමයි පාරට ඇදලා දාන්නෙ නැතිව ඒ ළමයින්ට විසඳුමක් දෙන්න.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙනුත් ඔබට විශාල චෝදනා තිබෙනවා?

මොනවද මට තියෙන චෝදනා?

පරිසරය ආරක්ෂා කරමින් ගුවන් පාලම් මතින් හදනවා කියපු මධ්‍යම අධිවේගී මාර්ගය දැන් කුඹුරු, වගාබිම් මතින් තැනෙනවා කියලා මීරිගම, අඹේපුස්ස ජනතාව චෝදනා කරනවා?

ඔයගොල්ලො කිසිම සබ්ජෙක්ට් එකක් අධ්‍යයනය කරලා නෑ. ඔයගොල්ලො දන්නවද දකුණු අධිවේගී මාර්ගයෙ එක ගුවන් පාලමක්වත් නැති බව? ඒකයි ගිය පාර මහ ගංවතුරක් ආවේ. නමුත් අපි මේ පාර කුඹුරු යායවල් මතින් ගියත් 30%ක් කුලුනු මතින් තමයි යන්නෙ. දකුණු අධිවේගී මාර්ගයෙ එකම කුලුනක්වත් නෑ. ඒක පාරක් නෙමේ. ඩෑම් එකක්. එක එක්කෙනා කියන ඒවා ඇවිල්ලා ඔයගොල්ලො මෙතන කියනවා.

නමුත් පරිසරයට හිතකර පරිදි ගුවන් පාලම් මතින් ඉදිකරන බව ඔබ පැවැසුවත් පසුව එය කඩ කිරීමට එරෙහිව නේද ජනතාව පාරට බැස්සෙ?

ඔයගොල්ලො අපෙන් ඉන්ටර්විව් ගන්න එනකොට පරිසර අධිකාරියට ගිහිල්ලා තොරතුරු අරන් එන්න. ඔයගොල්ලො පාරේ ඉන්න මිනිස්සු කියන ඒවනෙ අපෙන් අහන්නෙ. මාධ්‍යවේදීන් වුණාම පාරෙ මිනිස්සු කියන දේවල් අපෙන් අහන්න බෑ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවත් මැතිවරණයට තව පැත්තකින් බලපෑවා. ඒකට ඔබ මොකද කියන්නෙ?

බලපෑවා. බලපෑවා. අහන්න දෙයක් නෑ ඒ ගැන.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියෝග කළා. නමුත් ඔහු රටෙත් නෑ. මේ ගැන මං දන්නෙ නෑ කියලා අගමැතිවරයා කියනවා?

ඒක අගමැතිවරයගේ රාජකාරියක් නෙමේනේ. සිතාසි භාරදීම උසාවියේ වගකීමක්. පුද්ගලයා ඇල්ලීම පොලිසියේ හා ජාත්‍යන්තර පොලිසියේ වගකීමක්. වරෙන්තු කරලා තියෙන්නෙ.

දේශපාලන ව්‍යාකූලත්වයත් සමඟ මේ ප්‍රශ්නය යටපත් වෙන්න බැරිද?

නෑ. යටපත් වෙන්න දෙයක් නෑ. එයා ලංකාවට කොහොම හරි ගෙන්නනවා. නඩු විභාගයක් පැවැත්වෙනවා.

සභා නායකවරයෙක් බොහෝ අවස්ථාවල නැවතුණෙ අගමැතිකම අරගෙන. ඔබට එවැනි "අගමැති සිහිනයක්" නැද්ද?

මට එහෙම හීනයක් නෑ. (මහ හ¾ඩින් සිනා) බුදුන් වහන්සේ කියලා තියෙනවා වර්තමානයේ ජීවත් වෙන්න. අතීතය හෝ අනාගතය ගැන හිතන්න එපා. වර්තමානයේ ජීවත් වෙලා හරි දේ කරන්න කියලා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon