‘චන්ද්‍රිකා එක්ක තනියම කතා කරන්න දුන්නෙ නෑ දෙන්නගෙ සියලු කතා පටිගත කළා’

  👤  3895 readers have read this article !
By mawbima 2018-02-25

නැක්සලයිට් කුමන්ත්‍රණ චෝදනාව නඟා අත්අඩංගුවට ගත් සිනමා නළු විජය කුමාරතුංගයන්ගේ සිරගෙදර ජීවිතය ගැන අපි ඔබට පසුගිය "මව්බිම ඉරිදා සංග්‍රහය" තුළින් අනාවරණය කළෙමු.

අපි මේ තොරතුරු සොයා ගත්තේ විජය සිරගත කළ අවධියේ ඔහු භාරව කටයුතු කළ ජේලර්වරයා වශයෙන් සිටි ලක්ෂ්මන් සිල්වා මහතා සමඟ කළ කතාබහකින් පසුවය. 2012 වසරේදී කොළඹ මැගසින් බන්ධනාගාරයට සමු දෙන ඔහු විශ්‍රාම ගන්නේ එහි කොමසාරිස්වරයා හැටියට රාජකාරි කිරීමෙන් අනතුරුවය. වර්තමානයේදී විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු කීර්තිමත් නිලධාරියකු ලෙස ප්‍රකටව සිටින පුද්ගලයෙකි.

 

"විජය මහත්තයා තුළ මම දැක්ක ආදර්ශවත්ම ගුණාංගය තමයි තමන්ගෙන් පළිගත්ත කිසි කෙනකුට අපහාස වෙන විදියට නොබැන්න එක." ලක්ෂ්මන් සිල්වා මහතා යළිදු අතීතයට යන්නේ අපේ ඇරයුම අනුවය.

"විජය මහත්තයාගෙන් ගැනීම ගැනීම ගැන අහන කොට ඔහු කිව්වේ" බලන්න ලක්ෂ්මන් මේ මිනිස්සු මාව නැති දේකට පටලවා ගෙන පළිගන්නවානේ" කියලයි.
"මට විජය මහත්තයා ගැන තිබුණේ පුදුමාකාර දුකක්.... ඒත් රාජකාරි ජීවිතයයි, පෞද්ගලිකත්වයයි පටලවා ගන්න බැරි හින්දා මම සීමාවෙන් එහාට ගියේ නැහැ. ඒත් විජය මහත්තයාගේ මානසික තත්ත්වය වැටෙන්න නොදී හිතවත්කම පෙන්වන්න මම නිතරම උත්සාහ කළා."
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැරුණු විට විජය බැලීම සඳහා අවසර ලැබුණේ චන්ද්‍රිකා මැතිනියට පමණක් බව අපි මීට පෙර කීවෙමු. ඇය සෑම දිනකම විජය බැලීමට ආවාය. ඒ නිවෙසින් පිළියෙල කළ ආහාර බෑගයද ඔසවාගෙනය.

"මෙහෙම එනකොට රහස් පොලිසියේ නිලධාරීන් හැමදාම විජය - චන්ද්‍රිකා යුවළ ළඟ ඉන්නවා. ආණ්ඩුවෙන් නියම කරලා තිබුණු විදියට මේ දෙන්නා කතා කරන ඒවා පටිගත කරන්නේ අර නිලධාරීන්. මොකද චන්ද්‍රිකා මැතිනිය එක්ක තනියම කතා කරන්න තහනම් නිසා."
මේ ආකාරයට විජය සිරගත වී සිටි මාස තුනකට ආසන්න කාල සීමාවේ සෑම දිනකම විජය - චන්ද්‍රිකාගේ මුවින් පිටවන සෑම වචනයක්ම පටිගත කිරීමට රහස් පොලිසිය ක්‍රියා කළේය.

එමෙන්ම එම පටිගත කිරීම ජයවර්ධන ජනාධිපතිවරයාට අසන්නට සැලැස්වූ බවද වාර්තා විය.
"චන්ද්‍රිකා නෝනට හරි කේන්තියි. ඇය විජය මහත්තයාව අත්අඩංගුවට ගත් දවසේ ඉ¼දලා බන්ධනාගාරයෙන් පිටත් වන දවස දක්වාම විජය මහත්තයාව බලන්න ආවා වගේම ආණ්ඩුවට වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටත් බනින්න ගත්තා. ඇය ඒක කළේ පටිගත කරන බව දැනගෙනමයි."
"ඒ බැනුම් නිකම් බැනුම් නොවෙයි. අහන අයට රිදෙන්න බැන්නා. විජය මහත්තයා ඒ වෙලාවට චන්ද්‍රිකා නෝනව අස්වසා ලන්න කටයුතු කළා. නමුත් අෑ බනින එක නම් කොහොමත්ම අත්හැරියේ නැහැ."

සිරගෙදර බොහෝ දෙනා විජයට අසීමිත ලෙස ළෙන්ගතුය. එහෙත් ඒ බව පෙන්වීමට යෑම රස්සාවට කර ගන්නා හානියක් බව ඔවුහු දැන සිටියහ.
මේ නිසාම විජය සිරගත වී සිටි ක-ර්ණී ගොඩනැඟිල්ල අසලින් යෑමටවත් ඒ දෙස බලන්නටවත් බොහෝ නිලධාරීහු බිය වූහ.
"විජය මහත්තයත් බන්ධනාගාර නිලධාරීන්ගේ ඒ හිතවත්කම දැනගෙන සිටියා. මේ නිසාම සමහර අවස්ථාවලදී චන්ද්‍රිකා නෝනට කියන්න බැරි පණිවුඩ පුංචි කොළ කෑලිවල ලියලා සිරගෙදර කවුළුවෙන් විසි කරලා අදාළ තැන්වලට යවන අවස්ථා එහෙමත් තිබුණා."

විජය මේ ක්‍රියාමාර්ගය අනුගමනය කොට තිබුණේ චන්ද්‍රිකා මැතිනිය එන සෑම අවස්ථාවකදීම රහස් පොලිසිය ඔවුන් අසල ගැවසෙන නිසාය. තම පක්ෂයේ හිතවතුන්ට යැවිය යුතු පණිවුඩ ඔහු මෙසේ ලියා සුළඟේ පා කර හැරියේ බන්ධනාගාර නියාමකවරුන් ඒවා අදාළ ස්ථානයට ලබාදේ යැයි විශ්වාස කළ නිසාය.
"මේ ආරංචියත් රහස් පොලිසියට ගිහින් තිබුණා. ඒ නිසාම මට ඉහළින් දැන්වූවා විජය මහත්තයා හිරගෙදර ඇතුළේ ඉ¼දලා විසි කරන මේ පණිවුඩ ඇතුළත් කොළ කෑලි එකතු කරලා වහාම ලබා දෙන්න කියල."

"අන්තිමට මම මේවා එකතු කළා. එකතු කරලා කියවලා බැලුවා. ඒවා ලොකු ලොකු ප්‍රශ්න ඇති කරන සටහන් නොවෙයි. පුංචි පුංචි පණිවුඩ. මම මේවා එකතු කරලා පුච්චලා දැම්මා."

"විජය මහත්තයාටත් ඒක තේරුම් කරලා දුන්නා. ඒකෙන් මම අමාරුවේ වැටෙන බවත් කිව්වා. මම එහෙම කළේ හෘද සාක්ෂියට එකඟව.
මොකද ප්‍රශ්නවලට බඳුන්වෙන එහෙමත් නැත්නම් කුමන්ත්‍රණවලට සම්බන්ධ පණිවුඩ නොවෙයි විජය මහත්තයා ලියලා තිබුණේ."
එකල ජේලර්වරයකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් සිල්වා මහතා විජය භාර නිලධාරියා වුවත් ඔහු ගත කළේ සිරකරුවකු හා සාමාන්‍ය ජීවිතයක් බව අපි ඔබට මේ කතන්දරයේ ලියන්නට පටන්ගත් මුලදීම කියා සිටියෙමු.

එසේ වීමට හේතුව ඔහුට නැක්සලයිට් කුමන්ත්‍රණ චෝදනාව නඟා සිරගත කළ එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ සිරකරුවකු වූ නිසාය. ඒ නිසාම ලක්ෂ්මන් සිල්වාට තිබූ වගකීම, රාජකාරිය සුළු පටු නොවීය.
''රහස් පොලිසිය හැම වෙලාවෙම විජය මහත්තයා බන්ධගාරය තුළට වෙලා කරන කියන දේවල් ගැන ඇහැ ගහගෙන හිටියා. සමහර දවස්වලට විජය මහත්තයව රහස් පොලිසියෙන් 4 වැනි තට්ටුවට අරන් ගිහින් පැය ගණන් ප්‍රශ්න කළා. මමත් ළඟ තියාගෙන තමයි ඒ ප්‍රශ්න ඇහුවේ."

"මේ පොලිස් පරීක්ෂණ භාරව සිටියේ ටිරල් ගුණතිලක කියන ඩී.අයි.ජී. මහත්තයා. ඒ මහත්තයා හරියට නීතියට රාජකාරිය කරන දක්ෂ අවංක පොලිස් නිලධාරියෙක්."
"එතුමා විජය මහත්තයාගෙන් එළව එළවා ප්‍රශ්න කළා. නමුත් පෞද්ගලික තරහක් ඔහු තුළ තිබුණේ නැහැ. උදේ ගිහින් දවල් වෙනතුරු ප්‍රශ්න කරන වෙලාවට දවල් කෑම පවා විජය මහත්තයට ගෙනත් දුන්නා. නමුත් විජය මහත්තයා ඒවා ප්‍රතික්ෂේප කළා. චන්ද්‍රිකා නෝනා කෑම එක අරන් එතැනට එන බව කීවා."
" විජය මහත්තයා බන්ධනාගාරයෙන් කෑම කෑවෙම නැහැ."

එමෙන්ම විජය කුමාරතුංගයන් එතරම් කෑමට ප්‍රිය පුද්ගලයකු නොවන බව ලක්ෂ්මන් සිල්වා මහතා කියයි.
"හැබැයි පලතුරු කන්න හරිම කැමැතියි. හැම වෙලාවෙම පලතුරු කෑවා. පිරිසුදුවට ඇන්දා. සරමයි ෂර්ට් එකයි ඇඳගෙන ලස්සනට හිටියා. සමහර වෙලාවට මම දැක්කා කොණ්ඩය පරිස්සම් කරන විදිය. නිදා ගන්නකොටත් ඒ ගැන සැලකිලිමත් වුණා."
"ගඟ අද්දර සින්දුව හැරුණු විට හැම වෙලාවෙම කිව්ව ඊළඟ සින්දුව තමයි "දඟගෙයි දඬුවම් සියුමැළි වැඩි නම් අළුගෝසුවනේ මා එල්ලාපන්" කියන ගීතය. ඒක බොහොම හැඟුම්බරව කියනවා මට ඇහුණා."

"විජය මහත්තයා බොහෝ විට දේශපාලන අදහස් දැක්වූයේ මේ රටේ පීඩන ජනතාව, එසේත් නැත්නම් එදාවේල සොයාගෙන කන අහිංසක මිනිස්සු වෙනුවෙන්."
"ඔහු ජාතිවාදය ප්‍රතික්ෂේප කළා. සංහිඳියාව පිළිබඳව ඉතා දැඩි ලෙස කතා කළා. මේ රටේ මිනිස්සු සාමයෙන්, සමඟියෙන් ඉන්න එක ගැන ඕනෑකමින් අදහස් දැක්වූවා.
විජය වටා ජනතාව ඒකරාශි වුණේ ඔහුගේ ආකර්ෂණීය හා හෘදයාංගම බව නිසාය.
මේ නිසා විජයව ප්‍රතිවිරුද්ධ දේශපාලන නායකයන්ට දැඩි හිසරදයක් විය.

විජය බන්ධනාගාරයට රැගෙන ආවේ 1982 නොවැම්බර් 25 වැනිදා බව අපි ඔබට කලින් මතක් කළෙමු. සවස 3.45ට පමණ සිරගෙදරට රැගෙන ආ විජයව දැක බලා ගැනීමට සිරකරුවන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් පවා දක්වා තිබුණේ පුදුමාකාර උනන්දුවක්. ඇතැම්හු ඔහුගෙන් සමරු සටහන් පවා තබා ගත්හ.
මේ මොහොතේදී විජය ඔවුන් අමතා මෙසේ ප්‍රකාශ කර තිබුණා.

"ඔය නිලධාරි මහත්වරු දැන් යන්න. නැත්නම් මටත් ඔය නිලධාරි මහත්වරුන්ටත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවේවි."
ගැඹුරු හා ආකර්ෂණීය ලෙස කියූ මේ දෙබස ඇසූ බොහෝ දෙනා එතැනින් පිටවී ගියේ ශෝකය මුසුවූ එහෙත් ආදරණීය ප්‍රතිචාර ඉරියව් ප්‍රදර්ශනය කරමින්.
විජයට නැක්සලයිට් චෝදනාව නැඟූ දේශපාලනඥයන් අපේක්ෂා කළේ ඔහු මානසිකව වට්ටා දමන්නටය. එහෙත් හිරගෙදරදී ඔවුන් බලාපොරොත්තු වූ දේ සිදු නොවීය.
ඒ වෙනුවට විජය සාමාන්‍ය මනුෂ්‍යයකු සේ ඊළඟට කළ යුතු දේ ගැන සිතා බැලුවේය.

ලබන සතියට
සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායාරූප - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon