බල පොරය අස්සේ පල්ලමටම බැස්ස රටේ ආර්ථිකය

  👤  3283 readers have read this article !
By mawbima 2018-02-25

පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලය රට තුළ දේශපාලන බල අරගලයක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතු වී වසර දෙකක කාලයක් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන ලද අතර එම ආණ්ඩුව මුහුණ දුන් පළමු මැතිවරණය රට අස්ථාවර කර ඇත. ප්‍රමාණවත් මන්ත්‍රි කණ්ඩායමක් රහිත නමුත් පක්ෂ දෙකම තමන්ගේ ආණ්ඩු පිහිටුවන ප්‍රයත්නයක සිටී. කැබිනට් මණ්ඩලය වෙනස් කරන බවට ඇඟවීමක් ලැබී ඇත. පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම සභික ප්‍රමාණයක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි බල කරන ව්‍යාපාරයක් අරඹා තිබේ. අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන නීති විවාද මතුව ඇති අතර කැබිනට් සාකච්ඡාවේදී ද පක්ෂ දෙක අතර සම්බන්ධතාව ඉරිතලා ඇති බව අඟවන සිදුවීම් වාර්තා වීම විශේෂත්වයකි. පැවැත්ම කෙබඳු ස්වභාවයකට පත් කරනු ඇත්දැයි අවිනිශ්චිත තත්ත්වයක් හටගෙන තිබේ.

දේශපාලන ස්ථාවර භාවය රටකට වැදගත්ය. ආණ්ඩුව අවදානමක බව දැනෙන විට සමාජය තුළ සැකය හා බිය ඇති වෙයි. එය ආර්ථිකයටද බලපෑමක් ඇති කෙරේ. සැකය හා බිය ආයෝජනයට බලපායි. නිෂ්පාදනය හා වෙළෙ¼දාම යන අංශවලට පැතිරෙයි. එයට හේතුව අලුත් ආයෝජන හා ව්‍යාපාර පවත්වාගෙන යෑම ගැන තීරණ නොගැනීමය. ආණ්ඩුව වෙනස් වී ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනස්කමක් සිදුවුවහොත් සිය ආයෝජනවලට අවදානමක් විය හැකි යැයි ව්‍යවසායකයෝ කල්පනා කරති. ආයෝජනය කරන්නේ ස්වකීය ධනය වන හෙයින් අවිනිශ්චිත තත්ත්වයකදී සිදුවිය හැකි අලාභ ව්‍යවසාය බලවත් අනතුරකි. රට තුළ දේශපාලන නොසන්සුන්කමක්, අර්බුදකාරී වාතාවරණයක් ඇති වන විට ඒවායෙන් තාවකාලිකව ඉවත් වී සන්සුන් තත්ත්වයක් ඇතිවන තෙක් බලා සිටීම ව්‍යවසායන්හි ස්වභාවයි. එය ආර්ථිකයේ එදිනෙදා කටයුතුවලට සියුම් බලපෑමක් එල්ල කරයි.

පළාත් පාලන මැතිවරණ උණුසුම පවතින අතරතුර සහ විශේෂයෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසු කාලය තුළ ආර්ථික ක්‍රියාකාරිත්වය සුපුරුදු රිද්මය වෙනස් කර ඇත. එය තාවකාලික ස්වභාවයක් බව සැබෑවකි. නමුත් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ඍජුව ඉදිරිපත් කරන තෙක් විශ්වාසයක් ඇති නොවේ. එය බරපතළ අවාසියකි. විනිමය අනුපාතිකය, කොටස් වෙළෙඳපොළ හා ණය වෙළෙඳපොළ දේශපාලනමය අර්බුද කෙරෙහි ඉතා සංවේදී ස්ථාන වශයෙන් සැලකිය හැකිය. දෙස් විදෙස් ආයෝජන හා ව්‍යාපාර ක්‍රියාකාරිත්වය එමඟින් අඩාල කරයි. අවසානයේදී මේවායේ විෂම ස්වභාවයට මුහුණ දෙන්නේ පොදු ජනතාව බව සඳහන් කළ යුතුය.

මැතිවරණ ප්‍රතිඵලය මඟින් ඇති කළ තත්ත්වය විනිමය අනුපාතිකයට ඉක්මන් බලපෑමක් කළේය. කිසිම අවස්ථාවක නොපැවැති අන්දමට වේගයෙන් රුපියලේ අගය අවප්‍රමාණය වූ බව පෙනේ. ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 157.14 තෙක් නැඟිණි. රට තුළ ඇති ඩොලර් ඉල්ලුම සපුරන්නට නොහැකි වන විට මිල ඉහළ නැඟේ. විදේශ වෙළෙ¼දාමෙන් හෝ විදේශ රැකියාවලින් උපයන ධනය මෙරටට එවීම ප්‍රමාද වුවහොත් මෙම තත්ත්වය ඇති වෙයි. වේගයෙන් රුපියලේ අගය අවප්‍රමාණය වන ස්වභාවයක් දැනෙන විට විදේශ මුදල් රටට එවීම තවදුරටත් ප්‍රමාද කරන්නට සියලුම දෙනා කැමැතිය. එයට හේතුව මාස කිහිපයකට කලින් ඇමෙරිකානු ඩොලරයක් විකුණා ලබා ගත් රුපියල් ප්‍රමාණයට වැඩි මුදලක් ලබාගත හැකි වෙතැයි යන අපේක්ෂාවයි. එය අසාධාරණ එකක් නොවේ. නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් රට තුළ ඩොලර් හිඟ වන අතර මිල වැඩිවෙයි. රටට ගෙන්වන සියලුම දේ මිල වැඩි වන්නට එය හේතුවකි. සීනි, පරිප්පුවල සිට ඉන්ධන හෝ මෝටර් වාහන දක්වා සෑම ආනයන ද්‍රව්‍යයකම මිල රුපියල්වලින් වැඩිවන හෙයින් එය වෙළෙඳපොළට විශාල ප්‍රශ්නයකි. පාරිභෝගික ද්‍රව්‍ය මිල ඩොලර් අනුපාතිකය අනුව නිතිපතා වෙනස්වීම වැළැක්විය නොහැකිය.

රුපියලේ අගය අනපේක්ෂික අන්දමට අවප්‍රමාණය වීම අපනයන අංශයට වාසිදායක තත්ත්වයකි. මෙරට නිෂ්පාදන මිල අඩුවන හෙයින් ගැනුම්කරුවෝ සිය අවධානය මෙරට වෙළෙ½දපොළ කෙරෙහි යොමු කරන අතර කලින් කරන ඇණවුම්වල ස්වභාවය හෙයින් එය වේගයෙන් සිදුවීමට ඉඩ නැත. ලංකා බැංකුව පසුගිය දින කිහිපය තුළ තමන් සතු ඩොලර් මිලියන ගණනින් රටට නිදහස් කර තාවකාලිකව ඉල්ලුම තුලිත කරන්නට උත්සාහ කළේය. එය දිගින් දිගටම කළ නොහැකි උත්සාහයකි. රජයේ බැංකු සතු ඩොලර් ප්‍රමාණය අවසන් වන විට භයානක අන්දමට රුපියල එකවරම කඩා වැටීමට ඉඩ තිබේ. අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන වෙනුවෙන් වියදම් කරන විදේශ වෙළෙ¼දාමක් රට තුළ පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් තාවකාලික ණය සංචිතය පවතින හිඟය දරුණු ලෙස ඉහළ යෑම වළකාගෙන තිබේ. එයටද පොලියක් ගෙවයි. හම්බන්තොට වරාය චීන සමාගමකට පැවැරීමෙන් උපයාගත් විනිමය ප්‍රමාණය නොතිබිණි නම් රුපියල ඉතාම ශීඝ්‍ර කඩා වැටීමකට ලක්වනු නිසැකය. මෙම ස්වභාවය හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන අර්බුදය අවසන් කරගන්නා ලෙස දැනටමත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු මඟින් ඇති කරන වාතාවරණය දුර දිග ගියහොත් ණය අර්බුදයක් ඇතිවීමට ඉඩ තිබේ. මෙම වසර තුළ රුපියල් ටි්‍රලියන 1.97ක ණය හා පොලී මුදලක් ගෙවන්නට රටට සිදුවී තිබේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් ණය වාරික වන අතර පොලිය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.36ක් ඒ අතර වන බව රොයිටර් වාර්තා නොබෝදා හෙළි කර තිබිණි. රුපියල අවප්‍රමාණය සියයට දෙකකින් සිදුවුවහොත් ඇමෙරිකානු ඩොලර් බිලියන හතකට වැඩි ප්‍රමාණය වෙනුවෙන් අවුරුද්ද අවසානයේදී තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවන්නට සිදුවිය හැකි අතර දේශපාලන අස්ථාවර බව එයට වන්දි ගෙවිය යුතුය. එය දේශපාලකයන්ට සුළු දෙයකි. අලුත් බදු පනවා මෙරට ජනතාවගෙන් අය කරන්නට සිදුවීම වැළැක්විය නොහැකිය.

ණය බර හෙයින් පමණක් වන හානිය එබඳුය. කොටස් වෙළෙඳපොළ දුර්වල වීම, බැංකු පොලී අනුපාතය වෙනස් වීම, ආයෝජන අත්හිටුවීම හෝ නිෂ්පාදන අඩාල වීම මත සිදුවන හානිය මෙයට වඩා බරපතළය. ඉතාමත් සංකීර්ණ තත්ත්වයකි. ආණ්ඩුවේ අර්බුදය මත රාජ්‍ය සේවාවේ තීරණ ගැනීම අඩාල වී ඇති අතර එය සංවර්ධනයට බාධා පමුණුවයි. 2017 වසරේ සංවර්ධන වේගය සියයට 3.8ක් පමණ බව සඳහන්ය. එය ඉතාම අඩු මට්ටමකි. මෙයින් වසර හතකට කලින් යුද්ධය අවසන් වූ වහා රට තුළ සියයට අට ඉක්මවන ආර්ථික වර්ධනයක් පැවැතියේය. මෙම දුර්වල ආර්ථික වර්ධනය මඟහරින්නට මෙම වසර තුළ අරමුණු කරගෙන සිටි නමුත් පළාත් පාලන මැතිවරණය හා එයින් පසු ඇතිවූ දේශපාලන අස්ථාවරභාවය මඟින් බාධා පමුණුවා තිබේ. ඉක්මනින් අර්බුද සංසිඳුවා ගැනීම වැදගත් මන්ද යන්න පැහැදිලිය. නුදුරු කාලයේදී එනම් අප්‍රේල් හා සැප්තැම්බර්වල පළාත් සභා ඡන්ද පැවැත්වෙයි. ලබන වසරේ ජනාධිපතිවරණයක් හා එයට පසු මහ මැතිවරණය නියමිතය. එකී කාල සීමාව තුළද මතුවන දේශපාලන ගැටුම් ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ඇති කරනු නිසැකය. ආණ්ඩුවේ ප්‍රධානීන් පමණක් නොව සෑම දේශපාලනඥයකුම මෙම පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

ශාමින්ද වත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon