හායි... හූයි... නොගා නයි මිරිස් කන බින්දුල්ගෙ රස කතාව

  👤  3748 readers have read this article !
By mawbima 2018-02-25

බින්දුල් ලෝක වාර්තාවක් තියන්නට ලෑස්තිය. ලෝක වාර්තා තියන්නට ඇඟ කිලිපොළා යන අවදානම් ගැනීමට සමහර ඇත්තන් කැමතිය. බින්දුල් හදන්නේත් ඒ වගේ වැඩක් කර ලෝකයට යන්නටය. ඔහු ලෝක වාර්තාවක් තියන්නට යන්නේ නයි මිරිස් කෑමෙන්ය.
මිරිස් වර්ග නම් අටෝරාසියක්ය. ඒ අතරින් නයි මිරිස් විශේෂය. ගම්මු ඒ මිරිස් වර්ගයට නයි මිරිස් කියන්නේ නයි විෂ වගේ සැරට දැවිල්ල එන නිසාය. වැරදිලාවත් නයි මිරිස් කරලක් හැපුණු කෙනෙක් වේ නම් ඔහුට ඒ වේදනා සහිත දැවිල්ල තමන්ට රන් කිරිකට ගෑ දිනය සිහිකරවන වග නම් ඇත්තය. එහෙව් නයි මිරිස් කා ලෝක වාර්තාවක් තියන්නට යෑම ගැන සිහි වනවිටත් අපේ ඇඟපත දන්නේය.
නයි මිරිස් කා ලෝක වාර්තාවක් තියන්නට යන බින්දුල් ඉන්නේ අඹගහලන්ද ගමේය. තෙල්දෙණිය දිගන අඹගහලන්ද ගම්මානය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිහිවූ මහවැලි ගම්මානයක්ය.

මෙම ගම්මානය ඇත්තේ දිගන පැරැණි නගරයේ සිට කිලෝමීටර් හතරක දුරකින්ය. වැඩිපුර ජීවත් වන්නේ මුස්ලිම් ජනතාවය. අඹගහලන්ද ගමේ අබ්දුල් මජීඩ් හසන් බින්දුල් ජීවත් වන්නේ සංචාරක වෙළෙ¼දාමෙන්ය. කවුරුත් ඔහුව දන්නේ නයි මිරිස් බින්දුල් කියාය.

බින්දුල්ට දැන් වයස අවුරුදු හතළිස් හයක්ය. ඔහු දරුවන් සිවුදෙනකුගේ තාත්තා කෙනෙක්ය. බින්දුල් ගැන ඇසෙන කතා ටිකක් විතර වෙනස්ය. ඇසෙන පරිදි ඔහු කුඩා කල සිට නයි මිරිස් කන්නට කෑදරය. නයි මිරිස් කොටා දියකර ඒ වතුරෙන් දිය නාන්නටත් බින්දුල්ට පුළුවන්ය.
බින්දුල් ගැන ගමේ ඇත්තන්ගෙන් අහපු හැටියේම ඔවුන්ගේ මුහුණුත් පිනා යන්නේය. අපේ නයි මිරිස් බින්දුල් අයියා ද? ඔහොම ගිහින් ඉස්සර හන්දියෙන් අහන්න. එයාගෙ ගෙදර නොදන්න කෙනෙක් නෑ. මඟදි හමුවූ තරුණයෙක් අපට කීවේය. බින්දුල් අඹගහලන්ද ගමට පොඩිපහේ ආලෝකයක් වගේය.
"බින්දුල් ගැන ආයෙ කතා මොනවද? ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා නයි මිරිස් කන්න රුසියා. ඒ කාලේ මේ හාදයා කොල්ලො කෙල්ලො පුදුම කරන්න කට පුරෝගෙන නයි මිරිස් කනවා."

"ලස්සනම වැඩේ එක දවසක් බින්දුල් නයි මිරිස් දැඟලිල්ල ආරංචි වෙලා පන්ති භාර සර් එයාව ගෙන්නලා බැලුවා. සාක්කුව පුරෝලා නයි මිරිස්. පස්සෙ බින්දුල් හොඳටම ගුටි කෑවා..." අපට එහෙම කිව්වේ බින්දුල්ගේ පන්ති සගයෙක් වූ මහරුෆ්ය.
කතාබහ කරමින් අප බින්දුල්ගේ ගෙදර සොයාගෙන පැමිණියේය. ඔහුගේ බිරිය මර්සිලා හිටියේ ගේ ‍ෙදාර වැඩ කරමිනි. දරු සිවුදෙනාත් ගේ තුළ එකෙල මෙකෙලවෙමින් සිටියහ. බින්දුල් වෙළෙ¼දාමේ ගිහින්ය.

ආ ගිය කතාවෙන් පසු මර්සිලා අප සමඟ බින්දුල්ගේ නයි මිරිස් වික්‍රමය ගැන කතා කරන්නට වූවාය.
"එයා ඔය ලෝක වාර්තාවක් තියන්න හදනවා කියන්නෙ." මර්සිලා කියන්නේ ආඩම්බරයක් මුසු හඬකින්ය.
"එයා එක දිගටම නයි මිරිස් කරල් තිහ හතළිහ කනවා. මට බයත් හිතෙනවා. මං කොච්චරවත් කියනවා නයි මිරිස් ඔච්චර කන්න එපා කියලා. ඒත් පොඩි කාලේ සිටම නයි මිරිස් කරල් කාලා පුරුදුයි කියලයි කියන්නෙ." ඇය අප දෙස බලාගෙන කීවාය.
බින්දුල් වරෙක ඉතා හොඳට පැසුණු නයි මිරිස් කරල් එකින් එක කටේ දමාගෙන සූකිරි කනවා සේ කන්නේය. තවත් විටෙක නයි මිරිස් පොඩිකර නාසයේ ගා ගන්නේය. තව වරෙක නයි මිරිස් කරල් පොඩිකර ඇස්වල තවරා ගන්නේය.

"ඒ විතරක් නම් මදැයි මහත්තයො. මේ මනුස්සයා මිරිස් කුඩු රහස් තැනෙත් අතුල්ලගෙන ගානක් නැතිව ඉන්නවනෙ." මහරුෆ් මගේ කනට කොඳුරා කීවා මතකය. ඒ කතාව ඇසෙන විටත් මට දැනුණේ ඇඟපතත් දැවිල්ල ගන්නවා වගේය.

මිරිස් කුඩු දැමූ වතුරෙන් ඔහු විටෙක නා තිබිණි. ඒ දෙනෝ දාහක් මැදය. මහරුෆ් කීවේ ඒ මිරිස් සැර වැදී බොහෝ දෙනකුගේ ඇඟපත දැවිල්ල ගන්නට වූ බවය.
එහෙත් නයි මිරිස් බින්දුල්ට නයි මිරිස් සැර නැත. කිසිම දැවිල්ලක් නැත. මේ අහවල් දෙයක් දැයි කාටවත් තේරෙන්නේ නැත.
බින්දුල් වෙළෙ¼දාමේ ගිහින් ගෙදර එන්නේ මේ අතරය. ඔහුට අප දුටු විට සතුටුය. ඒ සතුට බින්දුල්ගේ කතාවෙන්ම තේරුම් ගන්නට හැකිය.
"මං ජීවත් වුණේ ගොඩක් අගහිඟකම් මැද්දෙ. ඉස්කෝලෙන් පස්සෙ මං එළවළු විකුණන එක, පලතුරු විකුණන එක රස්සාවට කළා. මේ අතරෙ තාත්තා නැති වුණා. අම්මව බලාගත්තෙත් මේ වෙළෙ¼දාම් කරලා.

මට පොඩි කාලෙ ඉඳන්ම නයි මිරිස් කන්න පුළුවන්. ඉස්කෝලෙදි ගුටිත් කාලා තියනවා නයි මිරිස් සාක්කුවෙ තිබිලා.

සර් හිතුවෙ මං ළමයි බය කරන්න නයි මිරිස් ගෙනත් කියලා. මං පොළට යද්දි වෙළෙන්‍ෙදා නයි මිරිස් හංගනවා. තියන්නෙ නෑ. මං හොරකම් කරනවා කියලා. මං නයි මිරිස් කන්නෙ මං ඒ රහට හරිම කැමැති නිසා. මට කිසිම සැරක් දැනෙන්නෙ නෑ ඒවා කෑව කියලා. සමහර වෛද්‍යවරු කියනවා මට ගැස්ට්‍රයිටීස් හැදෙයි කියලා. ඒත් දෙයියන්ගෙ පිහිටෙන් එහෙම ලෙඩක් නෑ. මං තේ බොන්නෙ නෑ. කිරි විතරයි බොන්නෙ. දුම්පානය කරන්නෙ නෑ. හොඳට කෑම කනවා. මං පල්ලි යනවා. දෙයියො වඳිනවා. දෙයියො මාව බලා ගන්නවා. බින්දුල් සිනාසෙමින් කියන්නේය.

මීට පෙර බින්දුල් නයි මිරිස් ෂෝ පවත්වා ඇත්තේය. අප අසාවත් නැති නයි මිරිස් ෂෝ කතාව කියන්නේත් බින්දුල්ය.
"මම ගමේ පාසලේ ෂෝ එකක් කළා. ඒ නයි මිරිස් කෑම, ඇඟේ ගෑම වගේ එක එක අංග රාශියක් එක්ක. ෂෝ එක බලන්න විශාල පිරිසක් ආවා. සමහරු බය වුණා හොඳටම. බලාගෙන ඉන්න බැරිව නැඟිටලත් ගියා කෙනෙක්. සමහරු හොඳටම පුදුම වුණා. මහත්තයා දන්නෙ නෑ ෂෝ එකෙන් ලක්ෂ ගාණක් ලාබයි. මටත් ලොකු ගාණක් දෙන්න හැදුවා. මං ගත්තෙ නෑ මහත්තයා. ඉස්කෝලෙට දුන්නා. ගමේ මිනිස්සු මට මෙච්චර ආදරේ ඒ හින්දා."
"ඊට පස්සේ නයි මිරිස් ෂෝ තිබ්බෙ නැද්ද?." බින්දුල්ගෙන් විමසීමි. ඔහු හිස වැනුවේය.

"තිබ්බෙ නෑ මහත්තයා. ඒත් ගොඩක් අය කිව්වා තියමු කියලා. නයි මිරිස් ෂෝ එකකට රුපියල් ලක්ෂයක් දෙන්නම් කියලා කිවුවා. ඒත් මොකටද? මට ඕන ලෝක වාර්තාවක් තියන්න. ඔහු අන්තිමට ඔහුගේ අධිෂ්ඨානය ගැන කීවේය.
මට අවස්ථාවක් ලැබුණොත් නයි මිරිස් කරල් අමුවෙන් කාලා, මිරිස් අඹරලා ඇඟේ ගාගෙන, නයි මිරිස් වතුරෙන් නාලා අමුතු විදිහෙ ලෝක වාර්තාවක් තියන්න ලෑස්තියි. මට ඒකට අවස්ථාව ලැබෙයි කියලා හිතනවා."

නයි මිරිස් බින්දුල් බලාපොරොත්තු සහිතවය. නයි මිරිස් කා ලෝකයට යන්නට තැත් කරන මේ මනුෂ්‍යයා ගැන බියක් හිතෙන්නේය. අප ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේනක බන්දුසේන විමසන්නට හිතුවේ ඒ නිසාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon