පඹගාලක පැටලී සිටින ආණ්ඩුවේ ඇමැති මාරුව හිසරදයට කොට්ට මාරු කිරීමක්

  👤  4056 readers have read this article !
By mawbima 2018-02-23

පසුගිය වසර තුනක කාලයේ මේ රටේ ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය ගන්නා ලද තීන්දු තීරණ නිසා මේ රට ප්‍රපාතයකට තල්ලු වී ගිහින්. පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව පඹගාලක පැටලුණු ආණ්ඩුව, හිසරදයට කොට්ට මාරු කරනවා වාගේ කැබිනට් සංශෝධනයක් ගේන්න හදනවා. හරියට කුට්ටම අනනවා වගේ. පරාජිත වූ ජනතාව ප්‍රතික්‍ෂේප කළ කණ්ඩායමක් බෝඩ් වෙනස් කර ඇමැති තනතුරුවලට එන එක තමයි මෙයින් සිදුවන්නේ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා හොරණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

අපේ රටේ දූෂණය, වංචාව, නාස්තිය ඉහවහා ගිහින්. මේවා කරන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන්වත් නිලධාරීන්වත් නෙවෙයි. මහජනතාවගෙන් තේරී පත්වූ නියෝජිතයන් ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 50%ක් ඉක්මවා ඉලක්කයකට යනවා. අද ආණ්ඩුව කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරනවා. ඒවා පුහු තර්ක විතරයි. තමන්ට සිදුවූ පරාජය දරාගන්න බැරිවෙලා. අපි ජයග්‍රහණයේදී නිහතමානී විය යුතුයි. පරාජයේදී අවංක විය යුතුයි. සාර්ථක දේශපාලනයේ අරමුණ එයයි.
පසුගියදා (20දා) පාර්ලිමේන්තුව පැවැත්වුණේ විනාඩි ගාණයි. බරපතළ වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙමළ පරිවර්තනය නැති නිසා තමයි මේ දේ සිදුවුණේ. මේවා කලින් දැන ගෙන සිටියේ නැද්ද? මන්ත්‍රිවරු, ඇමැතිවරු 225කට කෑම, තේ වියදම, විදුලිය, පරිපාලනය සඳහා කොයිතරම් වැය වනවාද? මොන තරම් නාස්තියක් සිදුවෙනවාද?

වාද විවාද ඇතිවන විට මන්ත්‍රිවරු සභාවේ ඉන්න ඕනෑ. විවාදය තියන්න හොඳම තැන තමයි කැන්ටිම. පාර්ලිමේන්තුව නොවෙයි. මේ හැමෝම හිතා ඉන්නේ නොමැරෙන අය කියලා.

අද පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක්. ඒ උත්තරීතර සභාව අනාථ කඳවුරක් බවට පත්වෙලා ඉවරයි. මේ තත්ත්වය වෙනස් නොකළොත් නුදුරේදීම අපේ රට ලෝක සිතියමෙන් ඉවත් වෙන්න සිදුවෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.
මේ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වූවා වගේම ඉතිරි මැතිවරණයත් ඒ විදියටම පවත්වන්න ඕන කියලයි අපි කියන්නේ. මේ මැතිවරණය තමයි ගැටුම් අඩුම මැතිවරණය. ජනතාවත් එක්ක ඍජුවම සම්බන්ධ විය හැකි නියෝජිතයන් ලබාගැනීමයි ජනතාවගේ කැමැත්ත. අපේ රටේ මහ පොළොවේ පය ගහල ඉන්න අයයි ජනතාවට අවශ්‍යය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon