මෛත්‍රි-රනිල් හමුවී සාකච්ඡා කළේ මොනවාද?

  👤  4164 readers have read this article !
By mawbima 2018-02-23

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවට පැමිණීමත් සමඟම ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් බොහෝ දෙනකුගේ අවධානය ඒ දෙසට යොමු විය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුව රැස් වී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදු කරගෙන යන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණියේ පෙරවරු 11.15ට පමණය.

ජනාධිපතිවරයා සමඟ ඒ මහතා අසලින්ම මැතිසබයට පැමිණියේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.
පසුගිය දින කිහිපය පුරා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් අමාත්‍යවරුන්ද පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී දක්නට ලැබුණේ නැත.

විපක්ෂය දෙසට අවධානය යොමු කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙසද අවධානය යොමු කළේය.
මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු සේවක මහතකු අත යමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යැවීය.

බන්දුල ගුණවර්ධන මහතා එවපු ලියැවිල්ල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහත් උනන්දුවෙන් කියවීය. ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාට අතින් සංඥාවක් ලබා දුන්නේ එවපු ලිපියට කැමැත්ත පළ කරන්නාක් මෙනි.
තම හිස වනා ජනාධිපතිවරයාට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ජනාධිපතිතුමාට යවා තිබුණේ ආරාධනාවකි.
බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ආචාර්ය උපාධි උත්සවය ලබන මස 16 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ලෙස එම ආරාධනාවේ සඳහන් වී තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් පැවැත්වුණු ශෝක ප්‍රකාශ යෝජනාවට අදහස් ප්‍රකාශ කිරීමටය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කරන විට ඊට සවන්දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ද පැමිණෙන අයුරු දක්නට ලැබිණි.

එම ශෝක ප්‍රකාශයට අදහස් දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයටය.
නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම ජනාධිපති කාර්යාලයට පැමිණියහ.
මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකටය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය, ඒ සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඊට අමතරව වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය කඩිනම් කිරීමටද මෙහිදී තීරණය කර තිබිණි. නමුත් යම් යම් කරුණු ගැන එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
ජනාධිපති සහ අගමැති අතර ඇති මෙම සාකච්ඡාවට තවත් විශේෂ දෙදෙනෙක් සහභාගි වූහ. ඒ අය වූයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් අමාත්‍යවරයාය.

එම සාකච්ඡාවෙන් අනතුරුව තවත් සාකච්ඡාවකට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වූයේය.
එම සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා සමඟය.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා යන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනාද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුවය.
හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩසටහනකදී මිය යෑම ගැන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ප්‍රශ්නයක් යොමුකරන ලදී.

"මෙම නායකත්ව පුහුණු වැඩසටහන පෞද්ගලික ආයතනයකට ලබාදුන්නේ ඇයි. ඒ වගේම මෙම විදුහල්පතිනිය වැටුණාම රජයේ මාධ්‍ය මඟින් වෙනත් කතාවක් ගිහිල්ලා තියෙනවා. මෙම විදුහල්පතිතුමිය ඉණිමගකින් වැටිලා මියගියා කියලා. නමුත් කඹයකින් එල්ලීමට යෑමේදී තමයි මෙම විදුහල්පතිනිය අනතුරට ලක්වෙලා තියෙන්නේ." යනුවෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

"මේ ගැන කඩිනම් පරීක්ෂණයක් සිදු කරනවා. මේ සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොරයි. ටෙන්ඩර් කැඳවලා තමයි පෞද්ගලික අංශයට මේ කටයුත්ත බාරදුන්නෙ. යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා." මෙම විදුහල්පතිනිය යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතිචාර දැක්වීය.

"මීට පෙර රද්‍ෙදාළුගම විද්‍යාලයක විදුහල්පතිවරයකුත් මෙවැනි වැඩසටහනකදී මිය ගියා. තුන්වැනි ගුරු බිල්ලත් ලබාගැනීමට පෙර මෙවැනි අවාසනාවන්ත සිද්ධි නතර කිරීමට පියවර ගන්න කියලා ඉල්ලීමක් කරනවා" යනුවෙන්ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
මේ ගැන මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
"අකිල විරාජ් කාරියවසම් මහතා වගේ තරුණ ඇමැතිවරයකුට නම් කඹයකින් බහින්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයක් ඔබතුමාට කිව්වොත් එහෙම කරන්න බැහැනේ" යනුවෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විමසා සිටියේ කතානායක කරු ජයසූරිය මහතාගෙනි.

"මං ඉස්සර කඹවලින් බැහැලා තියෙනවා" යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.
පාර්ලිමේන්තුවේදී ඊයේ දින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් මතුකළේ ජාතික ආණ්ඩු ගිවිසුම ගැන නැවත සිහිපත් කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(ඇ) අනුව ජාතික ආණ්ඩුව හැටියට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි. එවැනි ලියැවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒක සභාවට ඉදිරිපත් කළ යුතුයි. මේ වත්මන් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව කටයුතු කරනවා. ගරු කතානායකතුමනි, මේ සඳහා පැහැදිලි තීරණයක් ලබාදෙන්න." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විමසා සිටියේය.
"මේ ප්‍රශ්නය පුන පුනා අහන එක වැඩක් නැහැ. ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන බව අගමැතිතුමාත්, සන්ධානයේ මහ ලේකම්වරයාත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. ඒක පිළිගන්න වෙනවා" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"මං මේ ගැන නීති උපදෙස් ලබා ගත්තා. ඒ අනුව ජාතික ආණ්ඩුව පිළිගන්න සිදුවෙනවා" කතානායක කරු ජයසූරිය මහතා තම තීරණය දැනුම් දුන්නේය.
නමුත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නැඟී සිටීමත් සමඟම යළි එම මාතෘකාව කරළියට පැමිණියේය.
"මෙම ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් 20 දෙනකු පමණ කල් ඉකුත්වෙලා තියෙනවා. එ් බව සඳහන් කරමින් වෙබ් අඩවිවල තොරතුරු පළ වෙනවා. ඇමැතිවරුන්ගේ ඡායාරූපවලට යටින් ගහලා තියෙනවා ඡ්යනඪපඥඤ කියලා. ඒකයි රටේ තත්ත්වය" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

"මට මේ ජාතික ආණ්ඩුව පිළිගන්න වෙනවා. ඒ ගැන මට නීත්‍යනුකූලව උපදෙස් ලැබී තිබෙනවා" යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟම ජාතික ආණ්ඩු කතාබහ එතැනින් අවසන් විය.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට පිළිතුරක් ලබාදෙන ලදී.
"මීට කලින් මේගොල්ලන් වෙනම ආණ්ඩුවක් හදන්න හැදුවා. ඒ උප්පරවැට්ටිය අපි පරාද කළා. දැන් මෙතැන එනවා කිඹුල් කඳුළු හෙළන්න. මේකට තමයි කියන්නේ දේශපාලන බංකොලොත්භාවය කියලා. දැන් කනගාටු වෙලා වැඩක් නැහැ. මේ ජාතික ආණ්ඩුවට එන්න" යනුවෙන් නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කළේය.

මේ අතර පාර්ලිමේන්තුව ඊයේ දින ආරම්භ වීමට පෙර විදුලි සෝපානය අසලදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුණගැසුණේය.
දෙදෙනා කෙටි වේලාවකින් කතාබහ කළ අතර මාතෘකාව වී තිබුණේ ජාතික ආණ්ඩුව සහ කැබිනට් සංශෝධනය පිළිබඳවයි.
විදුලි සෝපානය අසල ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා සිටින විට එය විවෘත වූ අතර එහි ඒ වන විට සිටියේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකි.

විදුලි සෝපානයේ ඉඩ නැති නිසා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නිසොල්මනේ සිටියේය.
"එන්න එන්න මන්ත්‍රිතුමා..." යනුවෙන් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාට ආරාධනා කළේය.
එම ආරාධනාව පිළිගත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විදුලි සෝපානයට ඇතුළු වූයේ කෘතඥපූර්වක සිනහවකින් ආර්. සම්පන්දන් විපක්ෂ නායකවරයාට සංග්‍රහ කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon