වගකීම් පැවරූ සෑම අවස්ථාවකදීම මහාචාර්ය විශ්වා වර්ණපාල පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානව හිතවාදියකු ලෙස කටයුතු කළා

  👤  3985 readers have read this article !
By mawbima 2018-02-23

දේශපාලනය කරන විට දේශපාලනඥයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල යම් යම් වගකීම් පැවරූ සෑම අවස්ථාවකදීම උගතෙක්, බුද්ධිමතෙක් මෙන්ම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානව වාදියෙක් ලෙස කටයුතු කරනු ලැබූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී පැවැසීය.
විශ්වා වර්ණපාල මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:

"මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. එතුමා මේ රටේ වාමාංශික, ප්‍රගතිශීලී දේශපාලනයේ බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය පිළිබඳව සිංහල, ඉංග්‍රීසි පොතපත රාශියක් ලියූ කෙනෙක්. බණ්ඩාරනායක දර්ශනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව කෙනකුට යම් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු සෙව්වොත් මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගේ පොත් තමයි සොයාගැනීමට තිබෙන්නේ."

"ප්‍රධාන වශයෙන්ම දේශපාලනයට පිවිසි මුල් අවස්ථාවේ සිටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ කාලවලදී වෙනත් රාජ්‍ය සේවයේ තනතුරු රාශියක් දැරූ සෑම අවස්ථාවකම වගකීම ඉතාම ඉහළින් ඉටු කළා. අවංකභාව පිළිබඳව, පිරිසුදු බව පිළිබඳව, කරන කාර්යයේ ගුණාත්මකභාවය පිළිබඳව තමන් කරන කාර්යයේ ප්‍රමිතිය පිළිබඳව ඉතාමත් ඉහළ අගයක් සමාජය තුළ ලැබූ පුද්ගලයෙක්."
"දේශපාලනඥයකු ලෙස ඔහුගේ අවංකකම, ආදර්ශය, ඔහුගේ චරිතය, ඔහුගේ බුද්ධිය, ඔහුගේ උගත්කම, ඔහුගේ පරිණතභාවය, ඔහුගේ පාණ්ඩිත්වය එතුමා ජීවත්ව සිටින කාලය වගේම අදත් සෑම කෙනකුම අගය කරනු ලබනවා. විශ්වා වර්ණපාල මැතිතුමා, ඔහුට පැවැරූ කාර්යයන් ඉටු කිරීමේදී සිය දැනුම හා බුද්ධිය මුල්කරගනිමින් ඉතාමත් දක්ෂ ලෙස වාද විවාද කළා. ඔහු දේශපාලනය කරනවිට දේශපාලනඥයකු වූ අතර උගතෙක්, බුද්ධිමතෙක් ලෙස යම් යම් වගකීම් පැවරූ සෑම අවස්ථාවකදීම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානවවාදියෙක් ලෙස කටයුතු කරනු ලැබුවා."
"ඔහු තුළ තිබූ සැබෑ මානවවාදී ගුණාංගය, සෑම කෙනෙක්ම ඉහළින් අගය කරනු ලැබුවා. එතුමාට සමාජ පිළිගැනීමක් තිබුණා. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පෙනී සිටි සෑම තැනම ඔහුට තිබුණු පිළිගැනීමත්, දක්ෂතාවත්, දැනුමත් ඔහු කළමනාකරණය කරගෙන සියලු ස්ථානවල එම නායකත්වය ලැබුණා. එතුමා නායකත්වය සොයා ගිය කෙනෙක් නොවෙයි. ඔහුගේ කැපවීම, දක්ෂතාව, අවංකභාවය තුළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සමාජය පිළිගත්තේ උගතෙක්, බුද්ධිමතෙක් හා සැබෑ මානවවාදියෙක් විදියටයි. ඒ නිසා එතුමා මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට හා දේශපාලන ක්ෂේත්‍රයේ සෑම කෙනකුටම මේ රටේ සාමාන්‍ය ජනතාවට ඔහුගේ චරිතය ආදර්ශවත් වුණා."

"අද දේශපාලනඥයා සමඟ එන දූෂණය කියන වචනය සැබෑ ලෙස ප්‍රතික්ෂේප කළ කෙනෙක්. උගතෙක් බුද්ධිමතෙක් විදියට අවංක පුද්ගලයෙක් විදියට මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ලැබුණේ සෑමවිටම ඉහළ පිළිගැනීමක්. සැබෑ ලෙස ඔහුගේ උගත්කමට සහ දැනුමට ඔහුගේ දක්ෂතාවන්ට නිසි තැනක් සමාජය තුළ එදා රජයන් තුළ ලැබුණාද කියන ප්‍රශ්නය සැබෑ ලෙසම මගේ මතකයේ තිබෙනවා. සැබෑ මානවවාදියෙක් ලෙස සැබෑ මිනිසෙක් ලෙස සමාජයට කළ යුතු කාර්යයන් විදහා දැක්වීමේදී එතුමා මහා ප්‍රදීපස්තම්භයක් ලෙස කටයුතු කළා."

"ඔහු අවවාදයට වඩා ආදර්ශය පෙන්නුම් කළ කෙනෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ නායකයෙක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. මෙවැනි පුද්ගලයකු මේ ගරු සභාව නියෝජනය කළා වගේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වගේම බාහිරව ජාතික වශයෙන් අන්තර්ජාතික වශයෙන් අපේ මුළු මහත් සමාජයට, ප්‍රජාවට ඔහු විසින් කරනු ලැබූ සේවය අගය කළ යුතු වෙනවා. එතුමාගේ බුද්ධිමත්භාවය අපේ සමාජයට ආදර්ශයක්."

"මිනිසුන් මියගියද මිනිසුන් සමාජයට සිය මිනිසුන් වෙනුවෙන් කරන ලද සේවාව වගේම පෙන්වූ ආදර්ශයන් මිනිස් සමාජය තුළ කිසිවිටෙකත් අමතක නොවන බව අප දන්නවා. මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන මේ අවස්ථාවේදී මා පෞද්ගලිකවත් ජනාධිපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙසත් එතුමාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරනවා."

අප ජීවත් වෙන්නේ මහාචාර්ය
විශ්වා වර්ණපාල වැනි අවංක නිහතමානී දේශපාලනඥයන්ගේ අගය අදටත් ඉදිරියටත් දැනෙන යුගයකයි
රමේෂ් පතිරණ

දේශපාලනය, ආණ්ඩු ක්‍රමය පිළිබඳ විශාරදයකු මෙන්ම ආර්ථික විද්‍යාව සම්බන්ධව මත පළ කළ මහාචාර්යවරයකු වශයෙන් වර්ණපාල මැතිතුමා විශ්වවිද්‍යාලයේ ප්‍රකට වුණා. ශ්‍රී ලනිප හා වාමාංශික දේශපාලනය වෙනුවෙන් එතුමා විශාල සේවයක් ඉටු කළා. ශ්‍රී ිලනිප විධායක සභිකයෙක් ලෙස තම දැනුමෙන් පක්ෂයට සේවය කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැතිනිය හා ජනාධිපතිනිය බවට පත්කිරීම සඳහා දේශපාලන වශයෙන් විශාල සේවයක් ඉටු කළා. විශ්වවිද්‍යාල බිහිකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට කරන ලද සේවය වෙනුවෙන් යම් ගෞරවයක් ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමාට ලැබෙනවා නම් එයින් කොටසක් මහාචාර්ය වර්ණපාල මැතිතුමාටත් හිමි වෙනවා.

මහ පොළොවේ ජීවත්වූ නිහතමානී අවංක දේශපාලනඥයෙක්. එතුමා වැනි දේශපාලනඥයෙක්ගේ අගය අදටත් ඉදිරියටත් දැනෙන යුගයක අප ජීවත් වෙනවා.

මැතිනියගේ යුගයේ සිට ශ්‍රී ලනිපය අත් නොහැර සිටියා
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ දේශපාලන ග්‍රන්ථ පරිශීලනය වත්මන් දේශපාලනයට පිවිසෙන තරුණ නවක මන්ත්‍රින්ට ප්‍රයෝජනවත්. එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් නොහැර සිටියා. රාජ්‍ය මූල්‍ය පාලනය, පොදු ව්‍යාපාර යනාදියේ කටයුතු සම්බන්ධයෙන් එතුමා ලියන ලද ග්‍රන්ථ පරිශීලනය වෙන කවරදාටත් වඩා අදට ප්‍රයෝජනයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු හා දේශපාලනඥයෙක් ලෙස විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා.

ජාතික ආණ්ඩුව නීත්‍යනුකූල බවට තමාට නීති උපදෙස් ලැබී ඇති බවත් කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
අගමැතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ජාතික ආණ්ඩුව පිළිබඳව මේ වනවිට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට ඇති බැවින් තවදුරටත් ලියැවිලි ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බවට නීති උපදෙස් තමාට ලැබී තිබෙන බවද කතානායකවරයා පැවැසුවේය.
ජාතික ආණ්ඩුව පිළිගැනීමට සිදුවන බව පැවැසූ කතානායකවරයා මන්ත්‍රිවරු ඉල්ලා සිටින ලියැවිල්ලක් තිබේ නම් ලබාදීමට ක්‍රියා කරන බවත් වැඩිදුරටත් කීවේය.
ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ ලියැවිල්ලක් තිබේ නම් අදාළ ලේකම්වරු එය කතානායකවරයාට ඉදිරිපත් කළ යුතු බවටත් එසේ නොකළහොත් ජාතික ආණ්ඩුවේත් කතානායක ධුරයේත් වලංගුභාවයක් නොමැති බවත් අදාළ ලියැවිල්ල දැක ගැනීමට කැමැති මන්ත්‍රිවරුන් සිටින්නේ නම් එය ඉදිරිපත් කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක
දිනේෂ් ගුණවර්ධන
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සමඟ කටයුතු කරන බව ඊයේ පැහැදිලි කළා. යෝජනාවක් ගිවිසුමක් තිබෙන බව අගමැතිවරයා ප්‍රකාශ කළා. එසේ නම් ඊට අනුමැතියක් තිබිය යුතුයි. ඇමැති මණ්ඩලය 50ටත් ඇමැතිවරු 55ටත් වැඩි කළේ ඒ අනුවයි. ඒ ලියැවිල්ල ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ව්‍යවස්ථානුකූල නැත්නම් ප්‍රශ්න සහගතයි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
දැන් ජාතික ආණ්ඩුවක් තිබෙනවා. අගමැතිවරයා ඊයේ ඒ බව ප්‍රකාශ කළා. එ.ජ.නි.ස. මහ ලේකම්ද පැවැසුවා. එය දැන් පිළිගන්න ඕනෑ.
ඩලස් අලහප්පෙරුම
මෙහි දේශපාලන මුහුණුවරක් හා නීතිමය පියවරක් තිබෙනවා. ව්‍යවස්ථානුකූල අර්බුදයක් ඉස්මතුව තිබෙනවා. ජාතික ආණ්ඩු ගිවිසුම් ලියැවිල්ල ඉදිරිපත් කළ යුතුයි.
චන්ද්‍රසිරි ගජධීර - (එ.ජ.නි.ස.)

යම් නීත්‍යනුකූල ලියවිල්ලක් තිබේ නම් එය ඉදිරිපත් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔබතුමාගේ කතානායක ධුරයත් වලංගු වෙන්නෙ නැහැ.
නලීන් බණ්ඩාර (එ.ජා.ප.)
ශ්‍රී ලනිපය පසුගියදා දේශපාලන උප්පරවැට්ටියකින් නිමල් සිරිපාල අගමැති කරන්න ගිහිල්ලා ඒක පැරදිලා. පරාජය සාධාරණීකරණය කරන්න ජාතික ආණ්ඩුව ගැන විමසනවා. එයින් ලැජ්ජාව වහගන්න හදනවා.

නායකත්ව පුහුණුවට සහභාගි වෙමින් සිටියදී විදුහල්පතිනියක් මිය යෑමේ සිද්ධියට අදාළ පුහුණු ආයතනය වරදක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවැසීය.
හම්බන්තොට සුචි ජාතික පාසලේ පනස්තුන් හැවිරිදි වියේ පසු වූ විදුහල්පතිනියට නායකත්ව පුහුණුවේදී කඹයක එල්ලී යෑමේ පුහුණුවක් ලබාදුන්නේ කෙසේ දැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
විදුහල්පතීන් සඳහා වන පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු මොනවාදැයි සොයා බලා ඒවා නිවැරැදි කිරීමට කටයුතු කරන බවත් එහිදී ඉවත් කළ යුතු හා ඉවත් නොකළ යුතු කොටස් මොනවා දැයි සොයා බලන බවත් ඇමැතිවරයා පැවැසීය.
විදුහල්පතිනියගේ මරණය සම්බන්ධ කඩිනම් විමර්ශනයක් කරන්නැයි තමා නියම කර ඇති බවද පැවැසූ ඇමැතිවරයා මෙම මරණය පිළිබඳව ජනමාධ්‍යයේ පළවූ සියල්ල සත්‍යම නොවන බවද සමහර මාධ්‍ය අතිශයෝක්තියෙන් වාර්තා කර තිබෙන බවද පැවැසීය.
මේ විදුහල්පතිනිය කැඩෙට් නිලධාරිනියක් ලෙසද කටයුතු කර ඇතැයිද 2015ට පෙර විදුහල්පතිනට ලබාදුන් හමුදා පුහුණුව වත්මන් රජය විසින් වෙනස් කරන ලදැයි ද කීවේය.

වත්මන් පුහුණුවේදී ලබා දෙන බාහිර ක්‍රියාකාරකම් අවශ්‍ය නම් නැවැත්විය හැකියි. අවශ්‍ය නම් විදුහල්පති පුහුණුවට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ හැකියි' යනුවෙන්ද ඇමැතිවරයා පැවැසීය.

ඩලස් අලහප්පෙරුම
මේ පුහුණුව පෞද්ගලික ආයතනයකින් ලබා දෙන්නක්. රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ඉණිමගකින් බහින්න ගිහින් වැටීමක් ලෙසයි. අනෙක් සියලු මාධ්‍ය වාර්තා කළේ කඹයක එල්ලී යෑමෙන් සිදුවූවක් ලෙසයි. කෙසේ වෙනත් වයස අනුව පුහුණුවේ පරිමාවන් වෙනස් කිරීම වැදගත්. දැනට බිලි දෙකක් අරගෙන තිබෙනවා. තුන්වැනි ගුරු බිල්ල ගැනීමට පෙර මේ පුහුණුව වෙනස් කිරීම හොඳයි.'

'එයාර්ලංකා - මිහින් ලංකා' සමාගම්වල දූෂණ හා අක්‍රමිකතා සොයන්නට කොමිසමකින් පරීක්ෂණ කරනවා නම්, වැලිඅමුණ වාර්තාවත් විමර්ශනයේ කොටසක් විය යුතුයි
ඇමැති කබීර් හෂීම්

එයාර් ලංකා සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් මඟින් පරීක්ෂණයක් සිදු කෙරෙන්නේ නම් වැලිඅමුණ වාර්තාව එම විමර්ශනයේ කොටසක් විය යුතුයි.

එයාර් ලංකා සහ මිහින් ලංකා දූෂණ පිළිබඳව සහ ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු වගකීම් හා යුතුකම් ඇති අමාත්‍යාංශයක් වශයෙන් මේ වන විට සිදුකර ඇතැයිද කෝප් කමිටුව මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන්නේ නම් ඊට උපරිම සහාය ලබා දෙනවා.
රාජපක්ෂ සමයේ, රටේ මුදල් වැය කරමින් සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ වාර්තා වත්මන් ආණ්ඩුව කිහිල්ලේ ගසාගෙන සිටිනවා මිස, නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති කබීර් හෂීම් එසේ සඳහන් කළේය. එයාර් ලංකා සහ මිහින් ලංකා ආයතන පිළිබඳ නීතිමය කටයුතු සිදු කිරීම මූල්‍ය වංචා විමර්ශන අංශයට භාරදී ඇතැයිද ඉදිරි කටයුතු කිරීම රජයේ නිලධාරීන්ගේ සහ පොලිසියේ වගකීම යැයිද අවධාරණය කළ ඇමැතිවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුව මඟින්ද ක්‍රියාමාර්ග ගතයුතු බැවින් ඒ වෙනුවෙන් හැමවිටම තමා කැපවෙනවා යැයි පැවැසීය.

මෙම ගුවන් සමාගම් දෙකෙහි දූෂණ සෙවීමට වත්මන් රජය ජේ.සී. වැලිඅමුණ කමිටුවක් පත්කොට ඊට රුපියල් හතළිස් දෙලක්ෂයක් රජයේ මුදල් වැයකර වාර්තාවක් ලබාගෙන ඇති බව සඳහන් කළ නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා එයාර් ලංකා සහ මිහින් ලංකා ආයතනවල දූෂණ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

'පරීක්ෂණ, පරීක්ෂණ' කියමින් තව තවත් කොමිෂන් පත් කරමින් ඒවායේ වාර්තා ලැබෙනතෙක් ආණ්ඩුව බලා සිටිනවා දැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon