ලංකා ඉතිහාසයේ කිසිදු දිනෙක බස්රියක අත්බෝම්බයක් පුපුරා මෙතරම් මගීන් තුවාල ලැබුවේ නෑ

  👤  4023 readers have read this article !
By mawbima 2018-02-23

ඉතිහාසයේ කිසිදු දිනයක බස් රථයක් තුළ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් 19 දෙනකු තුවාල නොලැබූ බවත්, එබැවින් බණ්ඩාරවෙලදී බස් රථයක බෝම්බයක් පිපිරීම සුළුකොට තැකීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමය අවධාරණය කරයි.

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවැසීය.
දිවයිනේ තවත් ප්‍රදේශවල මෙවැනි බෝම්බ පිපිරීම් වැළැක්වීමට නම් ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා,

"බණ්ඩාරවෙලදී බස් රථයක බෝම්බයක් පුපුරා බස් රථයම ගිනි ගෙන 19 දෙනෙක් තුවාල ලැබුවා. මේ පිළිබඳ ආණ්ඩුවේ පූර්ව නිගමනය වී තිබෙන්නේ යුද හමුදා භටයකු ගෙන ගිය අත් බෝම්බයක් පිපිරීමෙන් මේ මහා විනාශය සිදුවුණා කියලා. මාධ්‍යවේදීන් ඉතාමත්ම නිවැරැදිව ප්‍රශ්න කළා මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි නේද කියලා. හමුදා මාධ්‍ය ප්‍රකාශක දුන්නේ අපූරු පිළිතුරක්. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඒ ආකාරයෙනුයි. එහෙම නම් මෙය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි ප්‍රකාශ නොකර සිටීමට හේතුව තමයි ජනතාව බියවීම වැළැක්වීම.

ඇත්තෙන්ම ජනතාව බිය වෙන්නේ ඇත්ත සැඟවීමෙන් මිස ඇත්ත හෙළි කිරීමෙන් නොවේ. බෝම්බ පත්තු කිරීමෙන් පසු මෙන්ම පිපිරවීමට පෙරද බෝම්බකරුවන් අල්ලා ගැනීමට ජනතාවගෙන් විශාල සේවයක් වුණා. මේ යුද ජයග්‍රහණය ලැබීමට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න එපා. බුද්ධි අංශවල ඇස් සහ කන් බවට සමස්ත ජාතියම පත්වුණා. සාමාන්‍ය ජනතාවට ඇත්ත පැවසුවොත් ජනතාව වඩාත් විමසිලිවත් වේවි. වඩාත් පරිස්සම් වේවි. එවිට බණ්ඩාරවෙල සිද්ධිය වැනි අවාසනාවන්ත සිදුවීම් යළි නොවේවි.

අත්බෝම්බ ප්‍රහාර අපිට අලුත් අත්දැකීමක් නොවේ. ත්‍රස්තවාදීන්ද පාතාලයන්ද අත්බෝම්බ පුපුරුවනවා. ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ල සඳහා විශාල වශයෙන් අත්බෝම්බ යොදා ගත්තා. එහෙත් අත් බෝම්බයකින් මෙතරම් විනාශයක් සිදුවෙන්න බෑ කියන එක අපි වගකීමෙන් කියනවා. මේ සඳහන් කරන ආකාරයට නම් මේ බෝම්බය බස් රථයේ තෙල් ටැංකිය ගාවම තියන් යන්න ඕනෑ. එසේ තෙල් ටැංකිය අසල තබාගෙන යන මොහොතේම පුපුරන්නත් ඕනෑ.

අපි මඳකට සිතමු හමුදා භටයෙක් යාපනයේ සිට හොරකම් කරගෙන ආවා කියලා පාතාලයට විකුණන්න. එයාට මොකක්ද තියෙන අවශ්‍යතාව බණ්ඩාරවෙලදී මේ ආරක්‍ෂක අගුළ අරින්න. මේක පීඩන බෝම්බයක් නොවෙයි. ඉතාම පැහැදිලිව හඳුනාගෙන තියෙනවා ගේ‍රනේඩ් එකක් ලෙස. එහෙම නම් අපි අභියෝග කරනවා ආණ්ඩුවට අපිට කියන්න කවදා කොතැනද ගේ‍රනේඩ් එකකින් 19 දෙනකු තුවාල වෙලා බස් එකක් ගිනි ගත්තේ. යුද සමයේදීවත් මෙහෙම වෙලා නෑ. යුද්ධය අවසන් වී ගෙවුණු වසර 9 පුරාවට කිසිම තැනක බස් එකක බෝම්බයක් පුපුරා නෑ. ඒ නිසා මේක සුළුපටු සිද්ධියක් නොවේ. ආණ්ඩුව කියන්න උත්සාහ දරන කතන්දරය මොකක්ද? යුද හමුදා භටයකුගේ ගමන්මල්ලේ සොරකම් කරගෙන ආ අත්බෝම්බයක් තිබුණා. එය ඔහු රැගෙන ආවේ පාතාලයට විකුණා දමන්නයි. ඔහු හරියටම බස් රථයේ තෙල් ටැංකිය ගාව වාඩි වී ආවා. බෝම්බය පිපිරුණා. තෙල් ටැංකිය ගිනි ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස බස් රථය ගිනි ගත්තා. බෝම්බයක් සොරකම් කිරීම, පාතාලය සමඟ සබඳතා පැවැත්වීම,

මහජනතාවට අනතුරක් සිදුකර මිනීමැරුමට තැත් කිරීම යනාදී චෝදනා මත මේ හමුදා භටයා කෝට් මාෂල් කරයි. සාමාන්‍ය අධිකරණයකින් දඬුවම් කරලා සිරගත කරලා මේ ප්‍රශ්නය අවසන් කරයි. හැබැයි එහෙම කළොත් ත්‍රස්තවාදියා මේ මුළු රටම අල්ලාගන්නා තුරු අප දරා සිටින එකක් නම් නෑ.

වසර දෙකක් තුළ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල දස දහසකට වඩා උතුරින් ලැබුණු බව හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිව්වා. වළ දැමූ ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය නිරතුරුව උතුරින් ලැබුණා. පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන් මේ කියන්නේ. වසර නවයක් සුරක්‍ෂිතව පුපුරන ද්‍රව්‍ය තබාගත නොහැකි බවයි. කොටින්ගේ මහ වීර දිනය ලංකාවේත් ලෝකය පුරාත් ඉහළින්ම සැමරුවා. අපි අතු ගා දැමූ කොටි සංවිධානය යළි නැඟිටලා නම් ඒ බව රටට ඇත්ත කියන්න. රටට ඇත්ත කිව්වොත් සමස්ත ජාතියටම සූදානම් වෙලා එදා වගේම අදත් හමුදාව පිටුපසින් ආණ්ඩුව පිටුපසින් එක මිටියට හිටගෙන මතුවෙන ත්‍රස්තවාදය දල්ලෙන් කඩන්න පුළුවන්. නමුත් පැස්බරා ඔළුව වැල්ලේ ගහගෙන මම ආරක්‍ෂිතයි කියලා හිතුවා වගේ හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමඟින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක්ද ඉදිරිපත් නොකර මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඉඩ දීමට කතානායකවරයා තීරණය කළා. එය සමස්ත පාර්ලිමේන්තුවේ අනාගතයටම කරපු නරක පූර්වාදර්ශයක්.

එංගලන්තයට ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. ඔවුන් සම්ප්‍රදායන්ට ගරු කරමිනුයි රට පාලනය කරන්නේ. ඒ වගේම ඔවුන් සම්ප්‍රදාය අකුරට රකිනවා. ඒ නිසයි ජනමත විචාරණය පරදින විට ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙන්නේ. නමුත් එංගලන්ත සම්ප්‍රදාය මේ කාරණය අරබයා නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිසේත්ම අදාළ නෑ.
ඇමැති මණ්ඩලයේ බර අඩු කරලා බදු බර අඩු කරගෙන සැනසිල්ලේ ජීවිතය ගත කිරීමට අනාගතයේවත් ඉඩක් ලැබේවි කියලා මේ රටේ ජනතාවට සිහිනයක් තිබුණා නම් ඒ සිහිනය අගමැති හා කතානායකතුමන් එක්වී බොඳ කළා කියන එක අපි ඉතාම කනගාටුවෙන් සඳහන් කරනවා".

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon