පුංචි ඡන්දයෙන් පසු ඊළමක් බිහිවිය හැකි යැයි කීම උතුරේ-දªකුණේ ජනතාව රැවටීමක්

  👤  3975 readers have read this article !
By mawbima 2018-02-23

මැතිවරණයෙන් පසු ඊළමක් බිහිවිය හැකි යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීම කෙතරම් ඛේදජනක ප්‍රකාශයක්ද යත් මෙය හුදෙක් දකුණේ අහිංසක සිංහල ජනතාව පමණක් නොව තමන් ඇතුළු හැම දෙනාවම රැවටීමක් යැයි විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා පැවැසීය.
රට පත්ව ඇති අරාජිකත්වය පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදයේදී සම්පන්දන් මහතා මෙ බව පැවැසීය.
සම්පන්දන් මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතාව විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. ජනතාවගේ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදීව ගරු කළ යුතුයි. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ මන්ත්‍රිවරයා හා එය ස්ථිර කළ මන්ත්‍රිවරයා විසින් කරුණු ඉදිරිපත් කර තියෙනවා. පෙබරවාරි මස 10 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ කෙටි විශ්ලේෂණයක් මම මූලික වශයෙන් ඉදිරිපත් කරනවා.

එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.69%ක්. එක්සත් ජාතික පක්‍ෂය 32.61%ක් ලබාගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.90%ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 4.48%ක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ තුන විසින් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව එකතු කළහොත් එය 45.99%ක් වන අතර ආසන්න වශයෙන් 46%ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.69% වන අතර එය ඉහත පක්‍ෂ තුන ලබාගත් ඡන්ද ප්‍රතිශතවල එකතුවට වඩා 2%කින් අඩුයි.

ජනතා විමුක්ති පෙරමුණ 6.26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි 3.06%ක් ලබා ගත්තා. එම පක්‍ෂ දෙක විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය, එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සමඟ එකට එකතු කළහොත් මුළු ප්‍රතිශතය 55.31%ක් වෙනවා. වෙනත් වචනවලින් කිවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව ඇති පක්‍ෂ විසින් 55.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා ගැනීමට හැකිවී තිබෙන්නේ 44.69%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙය අවිවාදාත්මකයි.

2015දී පැවැත්වුණු ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.58%ක්. දැන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එතුමා 2015 ජනාධිපතිවරණයේදී ලබා ගත්තා. පසුගිය කාලය තුළදී මැතිවරණ තුනක් පවත්වා තිබෙනවා. ඒවා නම් 2015 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය හා මේ මස පැවැති පළාත් පාලන මැතිවරණයයි. එම කිසිදු මැතිවරණයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට හැකිවුණේ නැහැ. ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මෙන්ම පළාත් පාලන මැතිවරණයේදීත් එතුමාගෙ ඡන්ද සංඛ්‍යාව 50%කට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙයින් කැලඹීමට කිසිදු හේතුවක් නැහැ. මැතිවරණ පැවැත්වෙයි. එහිදී ඇතැම් පක්‍ෂ ජය ලබයි. ඇතැම් පක්‍ෂ පරාජය වෙයි. පළාත් පාලන මැතිවරණය පවත්වා තිබෙනවා. ඔබ එයින් ජය ලබාගෙන තිබෙනවා. එහි කිසිදු විවාදයක් නැහැ. එහෙත් වැදගත් කාරණය වන්නේ ඔබ දිනා ඇති ඡන්ද ප්‍රතිශතය 44.69%ක් පමණක් වීමත් ඔබට එරෙහිව 55.31%ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වී තිබීමත්ය. එහෙයින් එහි ඇති කැලඹීමට පත්විය යුතු කාරණය කුමක්ද?

පාර්ලිමේන්තුව ස්ථාපනය වී ඇත්තේ පළාත් පාලන ඡන්දයේදී ප්‍රකාශ වන ඡන්ද ප්‍රමාණය මත නොවෙයි. පාර්ලිමේන්තුව ස්ථාපනය වනුයේත් ජනාධිපතිවරයා තෝරාපත්කර ගනු ලබන්නේත් මෙම රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති ප්‍රකාරව, එම කාරණා වෙනුවෙන්ම පවත්වනු ලබන ජනාධිපතිවරණයකදී හා පාර්ලිමේන්තු

මැතිවරණයකදී ප්‍රකාශ වන ඡන්ද පදනම් කර ගැනීමෙන්. ඔබ අපේක්‍ෂා කරන ආකාරයට ඔබගේ වාසිය පිණිස පළාත් පාලන මැතිවරණය යටතේ ඔබගේ ඉල්ලීම් ලබාදී, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති වෙනස් කරන්න බැහැ.

මැතිවරණයෙන් පසුව දෙමළ ඊළම පිබිදීමට මෙම මැතිවරණය හේතු විය හැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජජපක්‍ෂ විසින් සිය මැතිවරණ රැස්වීම්වල මුල් කාලයේදී පැවැසීම සම්බන්ධයෙන් මා තුළ යම් අනතුරු ඇඟවීමක් ඇති වූ බව සඳහන් කරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් එතුමා දැක්වූ හේතුව වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පැවැතීමත් එමඟින් එවැන්නක් සිදුවීමට ඉඩ ඇති බවට එතුමා අදහස් කිරීම නිසාය. 1987-1988 තුළදී සම්මත වූ 13 වැනි සංශෝධනයේ සිට බලයේ සිටි විවිධ ජනාධිපතිවරුන් හා විවිධ ආණ්ඩු විසින් මෙරටට සියලුම පුරවැසියන්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලැබෙන ආකාරයකට, 13 වැනි සංශෝධනයට විධිවිධාන ඇතුළත් කිරීමට උත්සාහ දරා තිබෙනවා. ජනාධිපති ප්‍රේමදාස කාලයේ තිබූ මංගල මුණසිංහ පාර්ලිමේන්තු තේරීම් කමිටු යෝජනා තුළින් 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය යෝජනා නිර්දේශ කර තිබුණා. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාලයේදීත්, අන් කවරකුවත් නොව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින්, 2000 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාද, 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් තිබූ අතර, එම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධ නව අංග ඇතුළත් කර කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වුණා. සර්වපාක්‍ෂික නියෝජිත කමිටුවේ හා විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීමේදී කළ කතාව මතක් කරන්නේ නම්, එහිදී උපරිම බලය බෙදීමක් පිළිබඳ කතා කර තිබෙනවා. එතුමා විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින්ද වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් බොහෝ ඔබ්බට ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා තම වාර්තාව තුළින් ඉදිරිපත් කළ මහාචාර්ය තිස්ස විතාරණ නම් කමිටුවක්ද තිබුණා. මෙම පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් වුණා. ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ඇතිව මෙම පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව සම්මත කරගත් යෝජනා සම්මතයකට අනුව පත්කර ගනු ලැබූ මෙහෙයුම් කමිටුවක්ද තිබුණා. ඔබ කිසිවෙක් එයට එරෙහි වුණේ නැහැ. මෙහෙයුම් කමිටුවේ කටයුතුවලටද ඔබ සහභාගි වුණා. කිසිවකුත් එයට විරුද්ධ වුණේ නැහැ. ඊළම පිළිබඳ කිසිවකුත් මෙම පාර්ලිමේන්තුව තුළ කතා කළේ නැහැ. මෙහෙයුම් කමිටුව තුළදීද කිසිවෙක් ඊළම පිළිබඳ කතා කළේ නැහැ. ඔබ එය පිළිගෙන තිබෙනවා. එම ක්‍රියාවලිය කරගෙන යෑමට ඔබ සහාය දැක්වූවා. එහෙත් 'ජනතාව අවධානයෙන් නොසිටියහොත් පළාත් පාලන මැතිවරණයෙන් පසු ඊළම පිබිදීමට ඉඩ තිබේ' යැයි හදිසියේම මහින්ද රාජපක්‍ෂ මහතා කියන්න පටන් ගත්තා.

මෙම පණිවුඩය ප්‍රචාරය කරනු ලැබ ඇත්තේ මේ රටේ අහිංසක සිංහල ජනතාව අතර බවට මට තොරතුරු තියෙනවා. 'මෙය ඊළම සඳහා පවත්වනු ලබන ජනමත විචාරණයක්, ඔබ රජයට හෝ එක්සත් ජතික පක්‍ෂයට ඡන්ද දැමුවහොත් එය ඊළමක් බිහිවීමට හේතු වෙනවා. එම නිසා ඔවුන්ට ඡන්ද දාන්න එපා. නෙලුම් පොහොට්ටුවට ඡන්ද දාන්න' යැයි ඔවුන්ට පවසා තිබෙනවා. ඉතා දරුණු ලෙස ගෙන ගිය මෙම ප්‍රචාරණ කටයුතු විශේෂයෙන්ම සිදු කරනු ලැබුවේ දකුණේ සියලුම පන්සල් තුළත්, සියලුම ගම්මාන තුළත් බව මට දැනගන්නට ලැබුණා. මේවා අවාසනාවන්ත තත්ත්වයක්. නොබෙදුණු, බෙදිය නොහැකි, එක් රටක් යන රාමුව තුළ දේශපාලන විසඳුමක් පිළිබඳ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් මගේ පක්‍ෂය මෙම මැතිවරණයේදී කතා කළ බව සඳහන් කිරීමට මට වුවමනායි.

රට බෙදීම පිළිබඳව කිසිම ආකාරයකින් කතා කළ මැතිවරණ ව්‍යාපාරයක්, උතුරේ හා නැඟෙනහිර තිබුණේ නැහැ. අප කතා කළේ, එක්සත් නොබෙදුණු, බෙදිය නොහැකි එක් රටක් යන රාමුව තුළ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ සැලකිය යුතු තරමකට බලය බෙදී යන විසඳුමක් පිළිබඳව පමණයි. අපේ සියලුම පළාත් තුළ අප ගෙන ගිය ප්‍රචාරණ වූයේ ඒක. අප එසේ කළ විට මැතිවරණයෙන් පසු ඊළම බිහිවිය හැකි බවට මහින්ද රාජපක්‍ෂ විසින් පැවැසීම කොතරම් ද්වේෂ සහගතද? මෙය හුදෙක් දකුණේ ජනතාව, දකුණේ අහිංසක සිංහල ජනතාව මුළා කිරීම පමණක් නොව, තමා ඇතුළු සියලු දෙනාම රැවටීමක්.

මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන ගියේ ද්වේෂ සහගත, දුෂ්ට, නොමඟ යවන සුලු අසත්‍යය ප්‍රචාරණයන් බව මේ රටේ සෑම අයෙක්ම දැනගත යුතු නිසා එය සටහන් කිරීමට මම කැමැතියි. ඔබ තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙම න්‍යාය පත්‍රය නම්, අප නිසා නොව, ඔබගේ 'නෙලුම් පොහොට්ටුව' හේතුකොට ගෙන ඊළම බිහිවන බව මම කියනවා. ඔබගේ 'නෙලුම් පොහොට්ටුව' මඟින් ඊළමක් බිහි කෙරෙනු ඇති. සිදුවිය හැකි දෙය වන්නේ එයයි. එහෙයින් පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් එවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීමට පෙලඹීමෙන් වළකින ලෙසට මම කාරුණිකව ඉල්ලනවා.

ලක්‍ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon